top of page

♨️අයිරීන්♨️ නොසැලෙන දියණි ( 10 වන කොටස )

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jun 26, 2021
  • 6 min read

අපේ ආදර ග්‍රැනී මීට මාස එකහමාරකට උඩදි අපව අත් හැර ගියාට පසු , ජීවිතේට දැනුන ලොකුම අඩුපාඩුව, තනිකම, භය, දුක, මටත් තෝමස්ටත්, නංගි රෝස් හා මල්ලි ජූඩ්ට දැනෙන්න පටන් ගෙන තිබුනේ අපව බොහොම අසරණ කරමින්. ග්‍රැනී තරම් අපේ ජිවිතයට මමී, ඩැඩි අපට ලංවි නොතිබීම, දරුවන් හතර දෙනාගෙම වගකීම තනිකරම ග්‍රැනීට බාරදී මමී පහුගිය කාලේ ගතකිරීම නිසා, ග්‍රැනීගේ මළ ගමෙන් පසු අසරණ උනේ පුංචි අපියි. අපි ඇගේ මීනි පෙට්ටිය ලඟ තක්කුමුක්කු වී සිටි හැටි මට තාමත් මතකය . ඒ දින දෙක අපේ මමී නොනවත්වා ඇඩුවේ...


"අනේ මම්මේ මම්මා නැතුව කොහොමද මම මේ ළමයි බලාගන්නේ කියමින්‍ය.... බලන්න මම්මේ මේ පොඩි දරුවො... මම්මා නැතුව දුක් වෙන හැටි ..."


අපේ මම්මාට ග්‍රැනී නැති උන පසු වැඩියෙම ඇත්තේ දුක කට වඩා පාඩුවක් යැයි ගමේ ගැහැනුන් අතන මෙතන කතා වෙනවා මගේ කනටම ඇසුනි.

ග්‍රැනීගේ මරණින් මාස එකහමාරකට පසු මට කොන්වන්ට් එකේ නවතින්නත්, තෝමස්ට කොළඹ ලොකු මමිගෙ ගෙදර නවතින්නත් සිද්ද වුනේ ග්‍රැනී ගෙදර නැති නිසයි. දැන් ජූලියා ආන්ටි අපේ ගෙදර වැඩ කරන්න ඇවිත් නිසා, මමීට පහසුවක් වි ඇත. ඒත් එළිසා අපේ ගෙදර වැඩට නොඑන එක නම්, රෝසිට ජූඩ්ට දැනෙනෙවා ඇති....ග්‍රැනී ඉන්නා කාලේ එළිසාගෙ වැඩ වල අඩුපාඩු , ඉදහිට ග්‍රැනී දුටුවත්....එළිසා නිතර රෝසිව හා ජුඩ්ව වඩාගෙන හුරතල් කරපු හැටි මට තාමත් මතකයි. එළිසා අපි හතර දෙනාට කවදත් ආදරය කල කෙනෙක්‍ය. අපිත් එළිසාට ඒ ලෙසම අනුකම්පාව දැක්වුවෙමු. කෙසෙ වෙතත්, තෝමස් වගේම මමත් ජූලියා ආන්ටිට එතරම් කැමැත්තක් නැති නිසා, මෙලෙස ගෙදර අය අමතක කර කොන්වන්ට් එකේ නවතින්න ආවේ කැමැත්තෙන්මයි. තෝමස් කොළඹ ගියෙත් කැමැත්තෙන්මයි..


ටාං...ටං...ටං....


"අන්න හවස තේ ලෑස්තියි ...අපි ඉක්මනට තේබිලා ග්රවුන්ඩ් එකට යමු සෙල්ලම් කරන්න ..."


"ඔව් අද අපට තව යාළුවෙක් වැඩි උන නිසා අල්ලන් සෙල්ලම් කරන්නත් පුලුවන් ....අයිරින් කැමති මොන වගේ සෙල්ලම් කරන්නද...?


"මම ඔයගොල්ලෝ කරන ඕන සෙල්ලමක් කරන්න කැමතියි ..."


"අය්යෝ...අද තේ බොන්න තියෙන්නේ මාරි බිස්කට් විතරයි ....අනේ මට නම් එපා..මම තේ විතරක් බොනවා..."


"අනේ ඔව්...මේට්ට්‍රන් අපට ක්‍රීම් බිස්කට් දෙන්නේ සුමානෙකට දවස් තුනයි...මාත් ආස නෑ මාරි බිස්කට් ..."


"මේ බලන්න මම මාරි බිස්කට් එක මෙන්න මෙහෙම රවුමට, හැඩයට කර කවකව කන්නේ...මට නම් ඕන දෙයක් කන්න පුලුවන් ..."


"තේ බීලා ඉවර නම් අපි ග්‍රවුන්ඩ් එකට යමුද...?


"හා...හා.. අපි දුවමු...."


"එහෙනම් කවුද බලමු ඉස්සෙල්ලම ග්‍රවුන්ඩ් එකට දුවලා යන්නේ...."


අල්ලපු කාමරේ නිලන්තිත්, රූබී හා සිල්වියා එක හුස්මේ දුවගෙන ගිය පැත්තට මමත් දූවගෙන ගියෙමි.


පාසැල් බිම මේ වන විට හිස් ගතියක් ඇත. ඒ කොන්වන්ට් එකේ ළමුන් ගෙවල් බලා ගොස් ඇති බැවින්....පාසැල් පිට්ටනියේ ඇත්තේ හොස්ටල් එකේ නැවති සිටින ළමයි පමනී... ඒ අතර කන්‍යාතුමියන් හතර පස් දෙනෙක්ම ළමයින් සමග ගැවසෙනුද පෙනේ....

ලොකු ගැහැනු ළමයින් නෙට්බෝල් සෙල්ලම් කරන අතර, තව සමහරක් බැඩ්මින්ටන් ගසයි....පොඩි ගැහැනු ළමයින් බෝනික්කො අතින් ගෙන සෙල්ලම් ගෙවල් දමාගෙන ඇත. යාලුවො කොටස් වශයෙන් බෙදී පාසැල් බිමේ, තණපිටියේ සෙල්ලම් කරති.


ගෙදර ඉන්නා කල මෙතරම් ළමයි ගොඩක් සෙල්ලම් කරනවා දැක නැති මට ....ගෙදරින් පිටවුනා කියා පාළුවක් දැනෙන්නෙ නැති ගානය. මමත් අනෙක් ළමයින් සමග එහෙ මෙහෙ දුවමින් සෙල්වම් කරන්න පටන් ගත්තේ සතුටිනි.


ටාං...ටාං.. ටාං...


"අන්න බෙල් එක වැදෙනවා...අපි යමු වොශ් එකක් දාගෙන චර්ච් එකට...සිස්ටර් මේරියි, සිස්ටර් ශැරොන්නුයි පල්ලියේ ගීතිකා කියන්න ඇවිත් ඇති...."


"අදනම් සිස්ටර් ශැරොන් පියානො එක ගහන එකක් නෑ...ඔරසන් විතරක් කියයි....අද සඳුදනේ..."


"මම ආස පියානො එක ගහලා ගීතිකා කියන දවසට..."


හොස්ටල් එකේ ළමයි හවස සෙල්වම් කර විත් ඇඟපත සෝදාගත්තේ කළබලේමය.පසුව නැවත දෙන්නා දෙන්නා අතින් අල්ලාගෙන පේලියකට සැදී පල්ලිය පැත්තට යන්න පටන් ගත්තේය. මමත් ඔවුන් ලෙසම රූබිගෙ අතින් අල්ලා ගෙන එම පේළියටම එකතු විය. මගේ වයසම ඇති රූබි කොන්වන්ට් එකේ මගෙ පන්තියේම දරුවෙක් බව අද දැනගත් පසු මට සතුටක් ඇති කර තිබුනි. වැඩි කළබලයක් නැති ඇයගෙ කතාබහටත් අද දිනේ දැනුනු ඇගේ ගතිගුණ වලටත් මට කැමැත්තක් ඇති වි ඇත. එබැවින් සෙල්ලම් කරන්න ගිය විටද මම ඇය ලගින්ම උන්නෙමි .


මේ වන විට අවට ගස් වැල් අතරින් මළානික හිරු එළි විහිදුවමින් මළහිරු බැස යමින් ඇත... සැන්දෑ අදුර හෙමිහිට අවට පරිසරය ගිළ ගනිමින් තිබුනි.....මට ගෙදර මමී, රෝසි, ජුඩ්, මතකයට එන්නට පටන් ගත්තේය. ඔවුන් මෙවෙලේ මොනවා කරනවා ඇද්ද...? ඩැඩි තවම ගෙදර ඇවිත් නැතුව ඇති....අප්පෝ..

ජූලියා ආන්ටි මොනව කරනවා ඇද්ද..? මේ වෙලාවට ඇය රෑට කන්න කෑම හදන වෙලාව. හැමදාම ඩැඩි වැඩ ඇරී ගෙදර ඇවිත් රෑට කෑම මේසයට වාඩි වී හැමෝම එක්ක එකට කෑම කන නිසා, හැමදාම අපේ ගෙදර රෑ කෑම මේසය ජයට තියෙනවා .....අද මම ගෙදර නැති නිසා රෝසිට ජුඩ්ට මමීට පාළු ඇති.....


"අයිරින් මොනවද කල්පනා කරන්නේ....ඉක්මනට යමු සිස්ටර්ස්ලා බලාගෙන ඇති අපි චර්ච් එකට එනකම්....."


කොන්වන්ට් බිමේ කෙළවර ,විශාල ගෙවත්තකින් වට වි, පිහිටා තිබුන දේවසථානය කොන්වන්ට් එකේ දරුවන්ට වගේම එම ප්‍රදේශයේ කතෝලිකයන්ට දෙවියන් වැදපුදා ගැනිමට බොහෝ කාළයකට පෙර නිමවා තිබු පැරණි දේවස්ථානයක් වේ....


දෙව්මැදුර ඇතුලතට කන්‍යාරාමයේ දරුවන් ඇතුළු උනේ බොහෝ භක්තියෙන් හා හික්මීමකින්. සැවොම දේවස්ථානය තුළට ඇතුළු උන වහා පපුවේ කුරුසයය ඇද ගත් ආකාරයට මමත් කලෙමි.

එම කතෝලික දෙව් මැදුර ඇතුළත ,පිට විවිධ ගෘහනිර්මාණ ශීල්ප ක්‍රම අනුව, කැටයම් , පිළිම, විදුලි බුබුළු , දොර ජනෙල් උළුවහු පවා නිර්මාණය වි තිබුනි. අල්තාරය, පුදසුන, ශූද්ධවූ කුරුසය, සීනු කුලුණ ආදී අංග මෙරට සෑම දෙව්මැදුරකටම පොදු දේවල් වලින් යුක්ත

දේවස්ථාන තුල කොනක ලී වලින් සැකිල්ල ඉදි කර පිදුරු සෙවිලි කර මඩුවක්ද ඇත.


අපි පල්ලිය ඇතුලට යනවිට එහි මළානික විදුළි පහන් එළි දැල්වෙමින් තිබුන අතර අල්ලතාරය ඉදිරිපිට ඉටිපන්දම් පත්තු කරමින් කන්‍යාතුමියන් දෙදෙනෙක් සිටියාය. එයින් කෙනෙක් මා සමග අද දවසේ බොහෝ කුළුපග වු සිස්ටර් මේරියි. අනෙක් කන්‍යාතුමිය සිස්ටර් ශැරොන් බවත් ඇය ටිකක් දරුවන්ට බොහෝ නීතිරීති දමාගෙන සිටින කෙනෙක් බවත්, රූබි මට කනට කර කීය. ඇය සිස්ටර් මේරිට වඩා බොහො වැඩිමහල් බව බැලු බැල්මට පෙනේ.

අල්තාරය ඉදිරිපිට හිටගෙන දරුවන් දේවස්ථානය තුළට එනකම් බලන් සිටි ඔවුන් දරුවන්ට බංකු වල වාඩිවෙන්න කීය.


ඉතා නිශ්ශබ්ද ශාන්ත දේවස්ථානය තුල ඇත්තේ හිතට සැනසීමක් සතුටක් සැහැල්ලුවක් ගෙනෙන පරිසරයකි.

කන්‍යාතුමියන් හා අනෙක් දරුවන් කරන ලෙස මමද අත් බැදගෙන ඔරසම් කියන්න පටන් ගත්තෙ දේවස්ථානය ඉදිරිපස ඇති ජේසුස් වහන්සේගේ කුරුසයේ ගසා ඇති පිළිමය දෙසබලාගෙනය. දේවස්ථානය තුල ඇති ශාන්ත භාවය මගේ හිතට දැනෙන්නේ සැහැල්ලුවකි.


දේවස්ථානය තුල දෙවියන් ඇයදීමෙන් පසු නේවාසිකාගාරයේ දරුවන්ට රාත්‍රී ආහාර ගැනීමට කෑම ශාලාවට යෑමට නියමිතය.


"අද රෑට කෑමට මොනවද දන්නෑ තියෙන්නේ ..." අපි ඉක්මනට යමු අයිරින් ....මට හරි බඩගිනියි ...අපි අද ගොඩක් සෙල්ලම් කලානේ....


"ශා....අද ඉදිආප්ප , අල හොදි ,පොල්සම්බෝල එක්ක චිකන් ...මගේ ආසම කෑමක්...."


"මාත් ආසයි ඉදිආප්ප කන්න ..."


රාත්‍රී කෑම වෙලාවට කොන්වන්ට් එකේ දරුවන්ට උගන්වන සිස්ටර්ස්ලාද පැමිණ ඔවුන්ට නියමිත දිග මේසයේ වාඩි වී එකට කෑම ගනු පෙනේ...දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරන සිස්ටර්ස්ලාද මේ නේවාසිකාගාරයේම වෙනම ගොඩනැගිල්ලක පදිංචි වි හිදින බව මට රූබී කීය.


දහවල් ආකාරයටම රාත්‍රී ආහාරයටද දරුවන්, මුළින්ම දෙවියන්ට ස්තුති කර, පසුව ඉතා සංයමයකින් කන්නට පටන් ගත්තේය. කොන්වන්ට් එකේ සිස්ටර්ස්ලා රෑ කෑම ගන්නට කෑම ශාලාවට පැමිණ ඇති නිසා දරුවන් දහවලට වඩා රෑට පිලිවෙලට, ශබ්ද නොකර කෑම ගනී....කතා බහ කිසිත් නැති කෑම ශාලාවේ හැදි ගෑරැප්පු ගැටෙන ශබ්දය පමනක් ඇසේ....


රාත්‍රී ආහාරයෙන් පසු දරුවන් තමන්ට නියමිත කාමර වලට ගොස් නිදියන්න සැරසේ...


ග්‍රැනී අපට මතක ඇති කාලයේ පටන් ගෙදරදී කියා දුන් පිලිවෙලට, මම ඇඳ ලග දණ ගසාගෙන රාත්‍රීයට කියන ඔරසම් ටික කියා නිදාගන්න ඇඳට ගියෙමි. අවුරුදු දහයකට වැඩි කාලයක් දෙමව්පියන් හා ග්‍රැනී සමග ගෙදර ගත කල කාලය නිම කර මට අද පාසැල් නේවාසිකාගාරයක, කාමරයක තනි ඇඳක තනියම නිදියන්න සිදුවි ඇත. ග්‍රැනීගේ මරණයට පෙර ඇගේ තුරුලේ මම නිදියපු ආකාරය සිහිවි මට මගේ දෙනෙතින් නොදැනීම කදුළු ගලාවිත් මගේ කොට්ටය තෙත් වෙනවා දැනින. මමී ඩැඩී, රෝසි, ජූඩ් නම් හැමදාම වගේ අදත් එක කාමරයක නිදියනවා ඇති....තෝමස් නම් දැන් ලොකු පිරිමි ළමෙක්නේ.. එයාට නම් මට වගේ ග්‍රැනී මමී නැති අඩුව තේරෙන්නෙ නැතුව ඇති. අනේ ග්‍රැනී මට පාළුයි, බයයි තනියම නිදාගන්න ....මගේ මුවින් ඉකියක් පිටවින.


"අයිරින් ඔයා අඬනවද...? අපිත් මුලින්ම හොස්ටල් ආව දවසේ ඔයා වගේ දුකෙන් තමයි නිදා ගත්තේ...අපි මේ ලඟ ඇදන් වල නිදාගෙන ඉන්නවානේ දුක් වෙන්න එපා..දැන් නිදිය ගන්න...". සිල්වියා කීවාය.


මගේ මුවින් ඉකි ගැසිම වැඩි විය...


"එහෙනම් ඔයා ටිකක් ඇඳේ එහාට යන්නකෝ මම අද ඔයාගෙ තනියට ඔයාගෙ ඇඳේ කොනකින් නිදියන්නම්....රූබි ඇගේ කොට්ටය රෙද්ද ඇරගෙන විත් මගේ ඇදේ කොනකින් නිදාගත්තේ මම අඬනවා බලා ඉන්න බැරි නිසා වන්නට ඇත. ඇය මගෙ ඇඳේ කොනකින් නිදාගත්තේ මගෙ අතකින් අල්ලාගෙනය. මට ඇය ගැන ඇතිවුනේ ලොකු ආදරයකී. මගේ පාළුව තනිකම තේරුම් ගන්න පුලුවන් යාළුවෙක් මට හමුවුන එක ගැන මට ඇතිවුනේ සතුටකී. මගේ හිතේ තනියම ඇඳක නිදියන්න තිබුන බය, රූබි මගේ ඇඳේ නිදාගන්න ආව නිසා යන්තම් තුනී විය. මම බොහෝම අමාරුවෙන් ඇස් පියාන නිදා ගන්නට උත්සහ ගත්තෙමි. රූබිට දැනටත් නින්ද ගොස් ඇත.


ඩාං...ඩං...ඩං..හොස්ටල් එකේ කාමර පේළී අද්දර බිත්තියේ ගසා ඇති ලොකු බිත්ති ඔරලෝසුවේ උදේ

පහමාරේ කනිසම වැදුනි....ටික වේලාවක් යන විට අපි සිටින කාමරය කිට්ටුවම ඇති විශාල නේවාසික ශාලාවේ ළමයින් උදේ නැගිට, පාසැල් යන්නට ලෑස්ති වෙන ශබ්දය ඇසේ....සිල්වියා හා රූබි තවම නිදිය. ඊයේ රෑ හරි හැටි නින්දක් නැතුව සිටි මම ඔරලෝසුවේ වෙලාව වැදුන සැනින්, අනෙක් දෙදෙනා නැගිටින්න කළින් ඇඳෙන් නැගිට නානකාමරයට ගොස් මුහුණ කට සෝදා ගෙන පැමිනියෙමි. අපේ කාමරේ අපි තුන්දෙනාට නියමිත නාන කාමරයට එක්කෙනෙක් ගොස් එනකම් ,අනෙකා සිටිය යුතු නිසා, පාන්දරින් නැගිටෙන කෙනා ගොස් වේලාසන මුහුණ කට සෝදා ගත යුතු බව ඊයේ රෑම රූබි මට කීයා තිබුනි.


"ළමයි ඇවිත් තේ ගන්න..කාමරයෙන් කාමරයට කෑම ශාලාවේ සුළු සේවක, සීතා අම්මා ලොකු කිරි තේ කේතලයක් රැගෙන කාමරයෙන් කාමරයට ගොස් ළමයින්ට තේ බෙදා දෙයි.


"අයිරින් මේ මගේ කෝප්පය, ඔයාගෙ කෝප්පයටත් එක්ක තේ දෙකක් ගන්න...රූබි ඇගේ තේ කොප්පය මට දුන්නේ, සිල්වියාට කලින් බාත්රූම් එකට මුහුණ සෝදාගන්න යන ගමනුයි. ...එක පාර බාත් රූම් එකට එක්කෙනෙක් හෝ දෙන්නෙක් ගොස් මුහුණ කට සොදා ගෙන ආ යුතුයි. එතකම් කාමරේ අනෙක් අය, තේ බොයි, ඉස්කෝලේ යන්න ඇදුම් ලෑස්ති කරගනියි, පාසැල් පොත් කියවයි. හැමෝම කළබලේ උදේට නියමිත වැඩ ටික කර ගනී.


"තේ එක බීලා ඇදුම් ඇදගෙන ළෑස්ති වෙන්න අයිරීන්... අද ඔයා අලුත් ඉස්කෝලේට , අලුත් පන්තියට යන මුල්ම දිනය නිසා....."


"ඔව්..මට බයත් එක්ක ඉස්කෝලේ යන්න..හැබැයි අලුත් පොත් ඇරන් අලුත් යුනිෆෝම් එක ඇදන් යන්න නම් ආසයි .."


මමී කොන්වන්ට් එකෙන් මිලදී ගෙන තිබුන අලුත් සුදු අත්දිග රැළි සහිත පාසැල් නිළ ඇදුම මම ඇද ගත්තේ සතුටිනි. අලුත් දිග මේස් හා සපත්තු කුට්ටම දා ගත් පසු මට පාසැලට යනකම් ඉවසුම් නැති විය.


"අපි කෑම කාමරයට යමු....ඉක්මනට පරක්කු වෙනවා සිල්වියා ...ඉක්මනට එන්න...."


උදේ ආහාරය ගන්න අපි කෑම ශාලාවට ගියේ ඉස්කෝලේ ඇදුම් ඇදගෙන ආහවර වීය. උදේ ආහාරය ලෙස අපට පාන් පරිප්පු, පොල්සම්බෝල හා කෙසෙල් ගෙඩියක් ලැබුනි.


"අයිරින් බේබි, උදේ දහයට ඉස්කෝලේ ගිහාම කන්න පාන් පෙති දෙකක් ඔයාගෙ කෑම පෙට්ටියට දැම්මා..."


කුස්සියේ විමලා අක්කා මගේ කෑම පෙට්ටිය මගෙ අතට දුන්නේ මම අලුත් ළමෙක් නිසා වන්නට ඇත. අනෙක් සියලු ළමයින්ගෙ දහවල් කෑම පෙට්ටි, කෑම කාමරයේ මේසයක් උඩ ගොඩ ගසා ඇත. එකිනෙකා පැමිණ ඒ කෑම පෙට්ටි අතරින් තමාගෙ නම ගසා ඇති පෙට්ටිය සොයාගෙන යයි.


"නිලන්ති, සිල්වියා ,රූබි අපි එහෙනම් ඉස්කෝලේ යමු...ගන්න ඔයාගෙ අලුත් ඉස්කෝලේ බෑග් එක..මේක හරි ලස්සනයි අයිරින් .... . මාත් අපේ අම්මට කියලා මේ වගේ බෑග් එකක් ගන්න ඕනේ..."


කාමරේ යාලුවො වගේම ලොකු ශාලාවේ නිලන්ති ,ශාමලි සමග පාසැල් යන්න හොස්ටල් එකෙන් එළියට බැස්සෙ හරි සතුටිනි...ජීවිතේ මුල්ම වරට අලුත් පරිසරයක අලුත් යාලුවො ...අලුත් ඇදුම් පැළඳුම් , අලුත් පොත් පත්...., අලුත් ඉස්කෝලේ සිස්ටස්ලා එක්ක ගෙවන්න ආ මේ ජීවිතේ අමුතු අත්දැකීමක් මට ලැබෙමින් තිබේ.....ග්‍රැනී නැති ගෙදර ජීවිතයට අකමැති උන මම, හොස්ටල් ජීවිතයට හරි ඉක්මනට පුරුදු උනේ එළසයි.....


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page