♨️අයිරින් ඩිලානි ♨️ නොසැලෙන දියණි (57 වෙනි කොටස )
- Prisila Godahewa

- Jul 13, 2021
- 7 min read
ඩිල්ශාන් රෝහලේ, දැඩි සත්කාර ඒකකයේ, ඇඳේ උඩුපිලි අතට අපහසුවෙන්, වේදනාවෙන් ඉන්නා හැටි දකින මොහොතක් පාසා මගේ හිත රිදුම් දෙයි....ඔහු බලන්න එන අය සමග, ඔහු දැන් යාන්තමට, අපහසුවෙන් වචනයක් දෙකක් කතා කරයි. මම ඔහු බලන්න ගිය විට ඔහු සතුටු වන බවක් පෙනෙන්න ඇත.....මම එහි ගිය විට, ඔහු මගේ අත, අල්ලාගෙන ඉන්නේ,මම දිගටම ඔහු ලඟ රැඳි ඉන්නවාට කැමැත්තකින් මෙනි.... එය මගේ හිතට ලොකු අස්වැසිල්ලකි. ....ඔහුගේ කකුලේ, ඇඟේ වේදනාව නැති වෙන්න වේදනා නාශක දී තිබුනත්, ඔහු තවමත් අපහසුවෙන් ඉන්නා බව පෙනේ....ඔහුගෙ වේදනාව අපහසුව මගේ හිතටද දැනෙන නිසා, මම බොහෝම අමාරුවෙන් මගේ දෙනෙතේ කඳුළු ඔහුට නොපෙනෙන්නට හංගාගෙන ඉන්නෙමි. ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නැවති සිටින නිසා, මට උදේට හා හවසට පමනක් ඔහුව බලන්න යන්න අවසර ඇත....එබැවින් දවසේ අනෙක් වේලාවන්හීදි මම, ලිලානී ආන්ටිලාගෙ ගෙවල් කිට්ටුව තිබෙන කතෝලික පල්ලිය වෙත ගොස් ඔහු වෙනුවෙන් දෙවියන් යදින්නට පටන් ගත්තෙමි.
"ඩිලානි ඔයාට වගේම අපටත් හරි දුකයි ඩිල්ශාන් ගැන....එහෙම කියලා අපේ ඔක්කොම වැඩ නවත්වලා, එයා වෙනුවෙන්ම දුක් වෙවි ඉන්න එක තේරුමක් නෑ.....මමයි, ඩිල්ශාන්ගෙ අංකලුයි මේ මහන්සි වෙන්නේ, ඩිල්ශාන්ව වෙන රටකට ඇරලා හරි පුලුවන් ඉක්මනට එයාගෙ කකුල සනීප කර ගන්න. ඩිල්ශාන්ගෙ කකුල නොකපා බේර ගත්තට ,දැන් ඔය තියෙන විදිහට එයාට තුවාල සනීප උනත්, හරියට ඇවිදින්න හම්බ වෙන්නෙ නෑ.....ඒ නිසා ඩොක්ටර්ස්ලා කිව්ව විදිහට අපි එයාව දැන් වෙන රටකට ඇරන් යන්න හදන්නේ..... ඔයා උනත් ,ඩිල්ශාන් ගැන ඕනෑවටත් වඩා හිත හිතා පාළුවෙන් තනියම දුක් වෙවි ඉන්නෙ නැතුව , තෝමස් කොළඹ ඇවිත් ඉන්න එකේ, එයත් එක්ක කොහේ හරි ගිහින් ටිකක් ඇවිදලා එන්න.....උදේටයි හවසටයි විතරනේ ඩිල්ශාන්ව අපට බලන්න යන්න පුලුවන් ......"
මම ඩිල්ශාන් වෙනුවෙන් ඕනෑවටත් වඩා දුක් වෙන බව ලිලානී ආන්ටිට දැනී ඇත.
"ආන්ටි මම තෝමස් එක්ක, මාව පොඩිකාලේ බලාගත්ත සීතම්මාව බලලා එන්න යන්නද....?"
"ඔව්...ඔයා යන්න ...යන්න ඉස්සර අපි ඒ වැඩිහිටි නිවාසයට කෝල් එකක් දීලා බලමු, සීතම්මා එහෙ ඉන්නවද කියලා ...."
"අනේ ලොකු දෙයක් ආන්ටි ....එහෙම උනොත් මට රෝසියි, තෝමසුයි එක්ක සීතම්මා බලලා එන්න යන්න පුලුවන් ...."
ලිලානී ආන්ටි නිතර මම ගැන උනන්දුවෙන් හිදී..... මගේ ඕනෑ එපෑකම් ගැන ඇය ඕනෑවටත් වඩා හොයා බලයි.
ලිලානී ආන්ටිගෙ කැමැත්ත ඇතුව,
ඩිල්ශාන් මාව කසාද බදින්න කල යෝජනාව ගැන, තෝමස් තවමත් පුදුමව හිදියි.. .... ඒ අදහසට ලිලානී ආන්ටි වගේම මිස්ට රණදේව කැමති වීමත් ඔහු බලාපොරොත්තු උන දෙයක් නොවීය......ඒ වගේම මම ඩිල්ශාන් කසාද බදිනවට, තෝමස්ගෙ අකැමැත්තක් නැති බව මට වැටහින.... ඔහු රෝසිට, හා ජුඩ්ටත් ඒ ගැන කියා ඇත....එක හිතින්ම ඔවුන් තුන් දෙනාගෙ ආශිර්වාදය මට ලැබෙන බව කීවේ රෝසියි..... ඩිල්ශාන් ,හා රණදේවලාගේ පවුලට මම සම්බන්ධ වෙන්න යන අදහසට ඔවුන්ට අකමැති වෙන්න හේතුවක්ද නැත .....තිබෙනවානම් ඒ, ඩිල්ශාන්ගේ අසනීප තත්ත්වය පමණයි.
රණදේව සර්ගේ කාර්යාලයේ වැඩ කරන තෝමස්ට, ඔහුගෙ නංගි වන මම, ඩිල්ශාන් සර්ව කසාද බදින්න යන එක ලොකු ආඩම්බරයක් බව තෝමස් කීවේය..... නමුත් ඔහුගෙ හිතේ තියෙන එකම දුක, බය, සැක,.... ඩිල්ශාන් සර් මෙම අනතුරෙන් අබ්බගාතයෙක් වෙයිද කියන බය යැයි , ඔහු මට රහසින් පැවසුවේ දුකෙන් ය...... එවැනි පුද්ගලයකු හා තමන්ගේ ලොකු නංගි, කසාද බදින්න සිතා සිටිම තෝමස්ගෙ හිතට හොද නැති බව ඔහු මා සමග කෙලින්ම කීවේ, ඇත්ත වසන් නොකරය...... නමුත් තෝමස් මගේ කැමැත්ත වෙනුවෙන්, මම කැමති දෙයක් මට කර ගැනීමට ඉඩ දීම, මට සතුටක් විය. මගේ හිතේ ජීවිතේ මුල්ම වරට ඇතිවුන ආදර හැඟීම, ඩිල්ශාන්ගෙ හොඳ ගතිගුණ , අදහස්, පෙනුම , තත්ත්වය ......ඒ සියල්ලටම මම මේ ටික කාලයට බොහෝ ආදරය කලෙමි. මට දැන් නැවත හැරි යා නොහැක. ඩිල්ශාන් අමාරුවේ වැටුන මොහොතේ, ඔහු වෙනුවෙන්ම මම දැන් නැවති , සැදීපැහැදි හිදින්න මම හිත හදාගෙන ඉවරය. ඔහුට සනීප වෙනකම් ඔහු වෙනුවෙන් දෙවියන් යදිමින්, මගේ දුක තුනී කරගෙන මම සිටින්න උත්සහ කරන්නෙමි.
"තෝමස්.... හෙට මදර් තෙරේසාත් මෙහේ එනවා කියලා තියෙනවා ඩිල්ශාන්ව බලන්න හොස්පිටල් යන්න......මම බැලුවේ එතකොට මදර් තෙරේසාටත් කියන්න , ඩිල්ශාන් මාව මැරි කරන්න ඇහුව්වා කියලා .....ඒ එක්කම ඩිල්ශාන්ට තව ටිකක් සනීප උනාම මම කියනවා, එයා අහපු යෝජනාවට මම කැමතියි කියලා ....එයා මොන තත්වයෙන් හිටියත් මම එයාව දැන් කසාද බදින්න කැමතියි කියලා කියනවා ...."
"ඔව්, ඩිල්ශාන් සර්ට ටිකක් සනීප උනාම ඒක කියන්න ......ඔයාගෙ කැමැත්ත ඒක නම්....!!
ඩිල්ශාන් සර් ගොඩක් හොද පාටයි....ආඩම්බර කමක් ඇත්තෙම නෑ....ඔයා එයාව කසාද බදිනවට මගේ අකමැත්තක් නෑ...එයාව ඉක්මනට සනීප කරගන්න බලන්න ...."
" රණදේව සර්ලා, ඩිල්ශාන්ව කොහොම හරි ඉක්මනට සනීප කර ගනියි .....කොච්චර කාලයක් උනත් මම එයා සනීප වෙලා එනකම් බලාගෙන ඉන්නවා.....ඒත් අන්තිමට තියෙන ප්රශ්නය තෝමස් , ආගමේ, ජාතියේනේ....මම මගේ ආගම අත හරින්නත් කැමති නෑ....,ඩිල්ශාන් ගෙ අම්මා මට කැමති වෙයිද දන්නෙත් නෑ...."
"අනේ මන්දා අයිරින් , වාසනාවට පයින් ගහන්න එපා එච්චරයි මට කියන්න තියෙන්නේ ...."
"ඔව් හෙට මම මදර් තෙරේසා මුණ ගැහුනම මේ ගැන එයාට කියනවා........"
"මදර් තෙරේසා නම් ඒකට කැමති වෙන එකක් නෑ අයිරින් ...එයා දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපවුන කෙනෙක්නේ.....එයා කැමති වෙන එකක් නෑ ඔයා බුද්ධාගමේ කෙනෙක් කසාද බදිනවට...."
"කවුරු අකමැති උනත් මම ඩිල්ශාන්ව අමතක කරන්නෙ නෑ....එයා හොද සනීපෙන් ඉන්න කොටනේ, මගෙන් එයා කසාද බදින්න ඇහුව්වේ....මම ඒක අමතක කරන්නේ නෑ....මම මගේ ආගම අත හැරලා හරි එයාව කසාද බැදලා, මුළු ජීවිත කාලෙම එයාව බලා ගන්නවා...එයා මොන තත්වෙක හිටියත්....."
"අනේ මන්දා අයිරින් ....ඔයාගෙ කැමැත්තක් ....මට බෑ ඔයාගෙ කැමැත්තට අකුල් හෙලන්න...."
මගෙන් ඩිල්ශාන් කසාද බදින්න අහපු බව දැනගෙන,තෝමස් යන්තම් හෝ සතුටු වන්නේ, මගේ දැන් කසාද බදින වයසත් හරි නිසා වන්නට ඇති.... ඔහුට තිබෙන ප්රශ්නය ඩිල්ශාන්ට ඉස්සරහ කාලේ මොනවා වෙයිද කියන ප්රශ්නය පමණයි....
"මේ දවස්වල ජූඩ් තනියම ගෙදරනේ....එයාට කෑම එහෙම කොහොමද තෝමස් .....?
"එයා ගැන බය වෙන්න දෙයක් නෑ....පෙරුමාල් එයාට තුන් වේලටම අලුත් බංගලාවෙන් කෑම ගිහින් දෙනවා....තව සුමානයකින් දෙකකින් එයාට වැඩට යන්න පුලුවන් ....රණදේව සර් ඔෆිස් එකට කියලා, ජුඩ්ට ෆැක්ටෙරි එකේ ඇතුලේ, මොනව හරි ජොබ් එකක් හොයලා බලලා දෙන්න කියලා ....ආයෙත් වාහන එලවන්න දෙන්නෙ නැතුව ....ඒ වගේම ,මේ දවස් වල මම ඔෆිස් එකේ ඔයා කරපු වැඩ කොටස කරන්නේ..."
"ඒක නම් ලොකු දෙයක් ....මම ජුඩ් ගැනත් බයේ හිටියේ....එයාට දැන් ගොඩක් සනීප නිසා, හිතට හොදයි ...."
"එහෙනම් අද දවල්ට අපි හොස්පිටල් එකට ගිහින් එන ගමන් සීතම්මාවත් බලලා එන්න යමුද තෝමස් .....?.මම ඊයේ රෑ සීතම්මා ඉන්න වැඩිහිටි නිවාසෙට, කතා කලා.......මම අද එහෙ එනවයි කියලා කිව්වහම සීතම්මා ගොඩක් සතුටු උනා....
"මම තව දවස් දෙකකින්, ආපහු නුවරඑළි යන්න ඕනෙ....එහෙනම් අපි අද ගිහින් එමු...."
"මට සීතම්මට ගෙනියන්න මොනව හරි ඇදුම්, කෑම ටිකක් ගන්නත් ඕනේ..... ඊයෙ රෑ මම ඔයගොල්ලෝ ගැන කිව්වහම ,සීතම්මා ගොඩක් සතුටු උනා, මට ඔයගොල්ලන්ව හොයා ගන්න පුලුවන් උන එකට....එයා තමයි තෝමස් මම හොස්ටල් එකේ තනියම ඉන්න කොට මාව බලා ගත්තේ....පව්, මට මෙච්චර කාලෙකට එයාව බලන්න යන්න බැරි උනානේ ....කොහොම හරි මම ,ඊයේ සීතම්මට වැඩිහිටි නිවාසෙට කෝල් කරාම, සීතම්මා හරියට සතුටු උනා මගේ කටහඬ අහලා....පව් "
තෝමස් හා රෝසි සමග මම රත්මලානේ සීතම්මා නැවතිලා ඉන්න වැඩිහිටි නිවාසෙට ,ඇය දකින්න ගියේ , හරියට මගේ මමී,ග්‍රැනී බලන්න යනවා වැනි හැඟීමකින්.......මට බැරි අමාරු කාලේ මාව බලා ගත්ත ඇයට මම රස්සාවක් කරලා හම්බ කර ගත්ත මුදලින්, දෙයක් ගෙන යන්නට ලැබීම මගේ හිතට ලොකු සතුටක් විය...."
අපි රත්මලානේ වැඩිහිටි නිවාසෙට යන විටත්, එහි ඉස්සරහ ඉස්තෝප්පුවේ තව වැඩිහිටි ගැහැනු අය දෙතුන් දෙනෙකු සමග ඇය වාඩි වි සිටියාය. මට මුළින් ඇය අඳුනගන්න බැරි තරම් විය....ඇය බොහෝ වයසට ගොස් ඇත.
"එන්න එන්න අයිරින් බේබි.......අනේ දැන් බේබි සුද්දියක් වගේ ලස්සන වෙලා, උස ගිහින් කොන්ඩේ වැවිලා....."
ඇය මා දුටු ගමන් මා ලගට විත් මගේ අතපය, මුහුණ ,ඔළුව අතගාමින් කතා කලේ ලොකු සතුටකින් බව පෙනින.
"ඊයේ රෑ වැඩිහිටි නිවාසෙට කතා කරලා, අයිරින් බේබි අද මාව බලන්න එනවා කිව්වහම, මට ඇති වුන සතුට කියාගන්න බැරි උනා ......මම මේ අද උදේ ඉදන් බේබි එනකම් මඟ බලාගෙන හිටියේ.....මම මගේ යාළුවන්ටත් කිව්වා අද බේබි එනවා කියලා....."
සීතම්මා ඇය සමග සිටි අනෙක් වැඩිහිටි ගැහැනු අයට බොහෝ සතුටින් , උජාරුවෙන් මාව අදුන්වා දුන්නේ ඇගේ මිනිබිරියක් බව පවසමින්.....
"අනේ අයිරින් බේබි ගෙ ලස්සන....දැන් හරියට සුද්දියක් වගේ....මාව බලන්න බේබි ආව එක කොච්චර ලොකු දෙයක්ද....? අනේ ඉතිං ආසාවට මාව බලන්න, මගේ කියන්න කිසි කෙනෙක් එන්නෙ නෑ බේබි....මම මේ මහළු මඩමේ නාකි කට්ටිය එක්ක බනක් බාවනාවක් කරගෙන ඔහේ ඉන්නවා...."
"මටත් සීතම්මා දැකලා හරි සතුටුයි ...."
සිතම්මාව මම, අවුරුදු දහයකට අධික කාලයක් දැක නොතිබුනි.... ඇය දැන් බොහෝ වයසට ගොස්, දත් හැලී, යාන්තම් පුවක් ගෙඩියක් තරම් ඇති කොන්ඩේ ඔක්කොම සුදුවි තිබුනි. ඇගේ අතපය රැළි වැටි අබල දුබළ වි ඇත.
"මේ අයිරින් බේබිගෙ නංගියි, අය්යයිද...? තව මල්ලි කෙනෙක් ඉන්නවා කිව්වා නේද....? කෝ එයා..."
"එයා නුවරඑළියේ .....දවසක මම සීතම්මා බලන්න එයාව එක්ක එන්නම්කෝ.... සීතම්මා කැමති නැද්ද මම ඉන්න නුවරඑළියේ ගෙදර ඇවිත් ,අපිත් එක්ක එහෙ නැවතිලා ඉන්න...?
"අනේ මම කාටවත් කරදර කරන්න කැමති නෑ බේබි....මට ඉතිං මේ වයසක කට්ටිය එක්ක මැහුමක් ගෙතුමක් කරගෙන, බනක් බාවනාවක් කරගෙන ඉන්න එක නිදහස් ......අයිරින් බේබිට පුලුවන් උන වෙලාවකට ඇවිත් මාව, මේ විදිහට බලලා යන්න කෝ...."
මම ඇයට ඇරන් ගිය ඇදුම් පාර්සලය හා කෑම පාර්සලය, ඇයගෙ අතට දෙද්දි ඇය...., අත් දෙකින්ම එය ගත්තේ මට වැදලාය..... අනේ මගේ අමාරු කාලේ, කාත් කවුරුවත් නොහිටිය කාලේ මාව ආදරෙන් බලා ගත්ත සීතම්මා දැක මට ලොකු දුකක් ඇති විය. ඇය දැන් වැඩිහිටි නිවාසේ අනෙක් අයත් සමග විවේකි සුවයෙන් හිදීම ගැන නම් මට සතුටුය.... හේතුව, ඒ කාලයෙ, කොන්වන්ට් එකේ නපුරු මේට්ට්රන්ලා ඇගෙන් බැන බැන වැඩ ගත් හැටි මතක නිසයි....
"සීතම්මට මතකයි නේද අර සිස්ටර් මේරි ....? එයා ආන්ත්‍ර වෙලානේ...."
"අනේ ඔව් බේබිට ආරංචි උනාද....?.සිස්ටර් ලෙඩ වෙලා ආන්ත්‍රා උනා කියලා මට ආරංචි උනේ ගොඩක් පහු වෙලා....අපි හැමොම ගේන ආයුශ ඉවර උනාම, අපට යන්න වෙනවා....ඒ වගේම ගිය ආත්ම වල, තම තමන් කල පව් පිං අනුව තමයි මේ ආත්මය ගෙවලා ඉවර කරන්න වෙන්නේ...."
"සීතම්මට මතකයි නේද...අර බදුල්ලේ බාලිකා නිවාසය....?
"මොකද අයිරින් බේබි මට අමතක , බේබිව එතනට ගිහින් දාන්න ඉස්සර ඉදන්,..... සිස්ටර් මේරි එක්ක මම ඒ බාලිකා නිවාසෙට යන එනවානේ...."
"ඒ මොකටද සීතම්මේ ....ඒහෙ ගියේ...."
"සිස්ටර් මේරි, අයිරින් බේබිට ඉස්සර, ඒ මඩමට තව ළමෙක් භාර දීලා තිබුනා....ඒ ළමයගේ ඇදුම් පැලදුම් ,පොත්පත් අඩුපාඩු ඔක්කොම බැලුවෙ සිස්ටර් මේරි තමයි ..... ඒ දරුවා බලන්න, මායි සිස්ටයි
නිතර ආගිය තැනක් තමයි ඒ බාලිකා නිවාසය....
අපිට අයිරින් බේබිව, බදුල්ලේ බාලිකා නිවාසේ නවත්වන්න ඉස්සර ඉදන් එතනට ගිහින් පුරුදුයි....."
" ඒක මම දැනගෙන හිටියෙ නෑනේ....එතන හිටිය ලොකු මැඩම්, ළමයින්ට හොදට සැලකුවේ නෑ සීතම්මේ...."
"එහෙමද....සිස්ටර් මේරි ඒ ගැන දැනගෙන හිටියෙ නෑ....කොහොම උනත්, අයිරින් බේබිව බාලිකා නිවාසේ නවත්වන්න යන කාලේ සිස්ටර් මේරි ඊට ඉස්සර ගිහින් දාපු ළමයා ඒතන හිටියෙ නෑ.....අයිරින් බේබිට වැඩිය වැඩිමහල් ළමෙක් ඒ...."
"පව්...ඒ ළමයට මොනව උනාද දන්නෙ නෑ...."
"හැබැයි ඒ නිසා තමයි ,සිස්ටර් මේරි නිතර බාලිකා නිවාසෙට, අයිරින් බේබිව බලන්න ආව ගියේ....අන්තිමට එක පාරටම අසනීප වෙලා සිස්ටර් මේරි ආන්ත්‍ර වෙලා තිබුනනේ....මට ඒක දැනගන්න ලැබුනේ මාස ගානක් පරක්කු වෙලයි ....."
"සිස්ටර් මේරිගෙ සොහොන තියෙන්නේ, නුවරඑළියේ මම නැවතිලා හිටිය කන්‍යාරාම භූමියේ තියෙන කනත්තේ...."
"බේබි දන්නවද....? බේබිව ඒ නුවරඑළියේ කන්‍යාරාමයට ඇරියේ කවුද කියලා ......"
"මාව එතනට ඇරියේ, නුවරඑළියේ පොලිසියෙනුයි,
පරිවාසෙනුයිනේ..."
"ඒගොල්ලො ඔයාව එතනට ඇරියේ, සිස්ටර් මේරි නිසා...."
"ඒ කිව්වේ සීතම්මේ......මට තේරුනේ නෑ...."
"බේබි ඒ කතාව කන්‍යාරාමයේ ලොකු මදර්ගෙන් අහන්නකෝ...එයා තමයි ඕවා විස්තර ඇතුව දන්නේ....සිස්ටර් මේරි, මට කියන්න එපා කියපුවා, මම සිස්ටර් නැති උනාට පස්සෙ වත් කියන්න කැමති නෑ...."
සීතාම්මා කිව් ලෙස, මාව නුවරඑළියේ කන්‍යාරාමයට භාර දුන්නේ, සිස්ටර් මේරි බව, සීතම්මා කිව් කතාව ඇත්තක්ද....? මට මදර් තෙරේසාගෙන් එය අසනකම් ඉවසිල්ලක් නොවිය..... හේතුව මම බදුල්ලේ බාලිකා නිවාසයෙන් ආ ප්‍රශ්න නිසා, එයින් පැන යන කාලය වන විටත්, සිස්ටර් මේරි ,ආන්ත්‍ර වී සිටියා නම්, ඇය කෙසේද මාව නුවරඑළියේ කන්‍යාරාමයට සම්බන්ධ කරන්නෙ....??
ඒ වගේම මිස්ට රණදේවගේ නුවරඑළියේ තේ වත්ත, බංගලාව , අපිට නවාතැන් දුන් පරණ ගෙය, මගේ රැකියාව , මේ සියල්ල අතරේ රහස් තියෙනවද....?
මේ සියලු හේතු නිසා මගේ හිත දෙගිඩියාවෙන් පසු වන්නට විය....
ඒ වගේම සිස්ටර් මේරිගේ තරුණ කාළයේ, පෙම්වතා වු මිස්ට රණදේවගේ පවුළ, මේ වන විට, මගේ ජීවිතයට සම්බන්ධ වී තිබීමත් මට, මේ වන විට තවත් ප්රෙරෙහෙලිකාවක් වි ඇත....මේ සියල්ල අසරණ බාලිකා මඩමක ජීවත් උන දැරියක් වෙනුවෙන්ම රණදේව පවුල විසින් පිං තකා කරන දේවල්මද....?
-සඳුදාට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *




Comments