top of page

♨️අයිරින් ඩිලානි♨️ නොසැලෙන දියණි (56 වෙනි කොටස )

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jul 13, 2021
  • 5 min read

හොදටම හවස් වේගෙන එන මොහොතේ , නැවත ඩිල්ශාන් බැලීම සදහා රෝහලට යෑමට අපි සියල්ලෝ ලෑස්ති උනෙමු..... ඩිල්ශාන්ගෙ අම්මා මම, ලිලානී ආන්ටි හා මිස්ට රණදේව වාහයට නැග ගත්තේ තම තමන්ගේ ආගමේ විදිහට ඩිල්ශාන්ට ඉක්මන් සුව පතමින්...., සියලු ආගම්වල, දේවතාවුන්ගේ බැල්ම ආශිර්වාදය ලැබෙමින්ද, මා අදහන මරියතුමියගේ පිහිටෙන්ද ඔහුට ඉක්මන් සුවය ලැබේවායි මම වාහනයේ පිටුපස ආසනයට වී කතා බහක් නැතුවම දෙවියන් යැද්දේමි....යාච්ඥා කෙරුවෙමි. ඩිල්ශාන්ගෙ මවද වාහනේ පිටුපස ආසනයේ, මා ලඟින්ම වාඩිවි ඉන්නා ගමන්, අත් දෙක එකතු කරමින් ,සැරෙන් සැරේට තොල් මතුරයි....


රණදේව සර් ලිලානී ආන්ටිට වඩා දුකෙන් මුසපත් වී ඇත. අප යන වාහනය දැන් එළවන්නේ ලිලානී ආන්ටියි.... මිස්ට රණදේව බොහෝ තැති ගැනුනු පෙනුමකින් හිදී......


"අපි ඔක්කොටම ඉන්ටෙන්සිව් කෙයාර් එක ඇතුලට යන්න බැරි වෙයි....නිශ්ශංක ඔයා ඉස්සෙල්ලා ඩිල්ශාන්ව බලලා එන්න.... පස්සෙ ඩිල්ශාන්ගෙ අම්මා අරිමු....පස්සෙ බැරියැ මටයි ඩිලානිටයි යන්න ...."

ලිලානී ආන්ටි සැම දෙයක්ම සැලසුම් කරයි....මිස්ට රණදේවට උපදෙස් දෙයි....රෝහලේ කාර්‍ය මන්ඩලේ අය සමග ඩිල්ශාන්ට සම්බන්ධ දේ කතා බස් කරයි..... මිස්ට රණදේව දුකෙන් ඉන්නා මොහොතේ ඇයගෙ කඩිසර, උනන්දුව ගැන මට ඇති වි තිබුනේ පැහැදීමකි. මට ඩිල්ශාන් දකිනකම් ඉවසුමක් නැත. මගේ හිත එක තැනක නැවතුන ගානයි.....


මුළින්ම ,ඩිල්ශාන් බැලීම සදහා දැඩි සත්කාර ඒකකය ඇතුලට ගිය මිස්ට රණදේව එළියට එනකම්, අපි තුන් දෙනා එයින් එළියේ සිටගෙන සිටියේ කිසි කතාබහක් නැතුවමය.... ඇතුලට ගොස් ඔහු දකින කම් මට ඉවසුමක් නැත.


ඩිල්ශාන් බලන්න ඇතුලට ගිය මිස්ට රණදේවට, එළියට එන්න විනාඩි දහයකට වැඩි වේලාවක් ගත විය. ඔහු ආවේ ඩිල්ශාන්ව දැක බලාගත්තත්, ඔහු සමග වචයක් කතා කරන්න බැරි උන බව කියමින්.....ඔහු කතා කරන්න බැරි තරමට අමාරුවෙන් බව ඔහු කීවේය ....


"ඩිල්ශාන් මාව අදුනගත්තා.... මම කතා කරාට, එයාට කතා කරන්න බෑ...,ඇඳේ, ඇගේ හැම තැන් වලින්ම බට ගහලා, බලන්න දුකේ බෑ....මිස්ට රණදේව කීවේ දුකෙන් බරවය.


"අක්කා ගිහින් පුතාව බලලා එන්න...."


අවසානයේ මට ඩිල්ශාන් බැලිම සඳහා ඇතුලට යන්නට අවස්තාව ලැබුනි. ඒත් විනාඩි දහයකට පමණි. දැඩි සත්කාර ඒකකයේ හතර වටින් මැශින් ,බට සවිකර ඇති ඇඳේ, ඩිල්ශාන්ව උඩුපිලි අතට සීරුවෙන් නිදාගෙන ඉදී...ඔහු දැක,මගේ මුළු හිතම දුකෙන් බරවිය. මට ඉකි ගැසි ඇඬෙන්න විය.... මම ඔහුගෙ ඇඳේ, ඔළුව තියෙන පැත්තට ගොස් ඔහුගේ මුහුණ බැලුවේ , මගේ ඇස් දෙකේ කඳුළු ගලා යද්දීයි....


"ඩිල්ශාන්....මම මේ ඩිලානි ....අනේ ඔයාට කොහොමද ...? ඔයාට ඉක්මනට සනීප වෙයි ඩිල්ශාන් බය වෙන්න එපා...මම ඔයාට උදේ හවස ඔරසම් කියනවා...දෙවියො ඔයත් මාත් දිහාත් බලනවා සත්තයි....මට විශ්වාසයි ඔයාට ඉක්මනට සනීප වෙනවා....."

මම හෙමිහිට ඩිල්ශාන්ගේ ඔළුව අත ගෑවේ, බොහෝම පරිස්සමටය..... සේලයින් ,බෙහෙත් බට ගසා තිබුන ඔහුගෙ දකුනු අතද මම හෙමිහිට යාන්තමට අත ගෑවෙමි....මගේ දෙනෙතින් නොනවත්වා කඳුළු ගලා යයි....මම ඩිල්ශාන් ගෙ පියවගෙන සිටින ඇස් දෙක දිහා එක එල්ලේ බලා සිටියදි, එය යාන්තමට විවර විය....ඔහුගෙ දෙනෙතේ තිබුනේ, මාව දැක දැනුනු විමතියකි....


"මම තමයි ඔයා එක්ක ඇම්බියුලන්ස් එකේ, නුවරඑළියේ ඉදන් කොළඹ ආවේ....මම ඔයාට සනීප වෙනකම් ආයෙත් නුවරඑළියේ යන්නෙ නෑ ඩිල්ශාන් ....ඔයා ඉක්මනට සනිප වෙන්න ඩාලිං.....මට හරිම දුකයි....මම ආදරෙන් ඔහු අමතමින් ඔහුගෙ ඔළුව අත අතගෑවෙමි....මම කියන දේ ඇසී, ඔහු මා දිහා බලා ඉදිද්දී....ඔහුගේ දෙනෙතින් කඳුළු බිඳු දෙකක් හෙමිහිට ගලා බැස්සේය....මගේ හිත පැලෙන තරමට දුකක් ඇතිවේ....මම ඔහුගෙ කදුළු බිඳු දෙක හෙමිහිට මගේ අතින් පිස දැමුවෙමි .


"මම හෙටත් එනවා ඔයාව් බලන්න ඩිල්ශාන් ....මම ලිලානී ආන්ටිලාගෙ ගෙදර නැවතිලා දිගටම ඉන්නවා.....ඔයාව වෝඩ් එකට දැම්මහම මම ඔයාගෙ තනියට දිගටම ඉන්නම්, ඔයාට සනීප වෙනකම්. ....ඔයා ඉක්මනට සනීප වෙන්න ඩිල්ශාන් ....මම ඔයා වෙනුවෙන් නොනවත්වා ප්‍රේ කරනවා....මට වැඩි වෙලාවක් මෙතන ඉන්න බෑ.....මම යන්නම්....ඔයාට ජේසු පිහිටයි....! මම හෙමිහිට දෙකට නැමී ඔහුගේ නළල උනුසුම් ලෙස සිප ගත්තෙමි . ඩිල්ශාන්ගේ ඇස් දෙකෙන් තව කදුළු බිඳු වැලක් ගලා බසින්න විය...මම මගේ දෙනතින් ගලන කඳුළු ඔහේ ගලා යන්නට ඉඩ දී ඔහුගෙ ඇඳ ළගින් නික්මුනි.


" ඩිල්ශාන් දිහා බලන්න බෑ දුකයි නේද ඩිලානි ....පව් කොහොම උස මහතට හිටිය දරුවෙක්ද...කොච්චර ස්පොට්ස් කරපු දරුවෙක්ද....? කකුලට මොනව හරි උනොත් ඉතිං වැඩක් නෑනේ.... "


"ඩොක්ටර්ස්ලා මොකද කියලා තියෙන්නේ ....ආන්ටි ?


"නිශ්ශංක කිව්වේ....අද ඔපරේෂන් එකෙන් ඩිල්ශාන්ගෙ කකුල නොකපා බේරගෙන තිබුනට, කකුලට ගොඩක් ඩැමෙජ් වෙලා තියෙන නිසා, පිටරටකට ගෙනියන්න වෙයිලු..... හොදටම සනීප කරගන්න .. ....පිටරට ගෙනිච්චත් හරියට විශ්වාස නෑලු, කකුල ගැන,... නිශ්ශංක ඩොක්ටර්ස්ලාට කියලා ලෝකේ කොහේ හරි ගිහින්, ඕන ගානක් වියදම් කරලා හරි එයාගෙ කකුල නොකපා සනීප කරගන්නයි ඕනේ කියලා ...."


"අනේ ඔව් කකුල කපන්නෙ නැතුව සනීප කරගන්න පුලුවන් නම් ලොකු දෙයක්........ජේසු පිහිට ලැබේවා.!......"මම මගේ පපුවේ කුරිසය ඇද ආමේන් කීවෙමි.


"ඇත්තමයි ආන්ටි ...මටත් ඕනේ ඒකමයි....මම මේ ප්‍රේ කර කර ඉන්නේ, ඩිල්ශාන්ට ලොකු කරදරයක් නොවි ඉක්මනට කකුල සනීප කරගන්න පුලුවන් වෙන්න කියලා ...."


"ඩිල්ශාන්ගෙ අම්මා කළබලේ කොළඹ ආව නිසා, එයාට අදම ආයෙත් නුවර යන්න ඕනෙලු....එයා ඇවිත් තිබුනේ එහේ කුළියට දුවන වාහනයකනේ....ආයෙත් අනිද්දට එන්නම්ලු....."


"එහෙමද...?අක්කා එහෙනම් නුවර ගියාවේ......එයා මෙහෙ හිටියයි කියලා කරන්න පුලුවන් දෙයකුත් නෑනේ...."


"දැන් ලිලානී අපිට ආයෙත් ඉක්මනට රට යන්න බැරි වෙයි නේද...? ඩ්ල්ශාන්ට සනීප වෙනකම්...... නැත්නම් ඩිල්ශාන් ගැන බලන්න කෙනෙක් නැතුව යනවනේ..."


"ආන්ට්...ඩිල්ශාන්ට සනීප වෙනකම් මම පුලුවන් විදිහට එයා ගැන බලන්නම්.....මට නුවරඑළියේ යන්න හදිස්සියක් නෑ...."


"එහෙනම් ලොකු දෙයක් ඩිලානි ...මට ඔයා එක්ක දෙයක්, ලොකුවට කතා කරන්නත් ඕන වෙලා හිටියේ....මේ ළමයා කර ගත්ත දේ නිසා..... ඔළුවත් අවුල් වෙලා....ඔයාගෙ නංගි ඔයා නැතුව තනියම නුවරඑළියේ නිසා, ඔයාට ඕන නම් එයාව, ඔයාගෙ තනියට මෙහෙට එක්ක එන්න....අය්යයි මල්ලියි ඉතිං ජොබ්ස් කරන නිසා ඒ දෙන්නට පාළුවක් නෑනේ....මම කියන්නම් කොළඹ එන වත්තේ වාහනයක, රෝසිව මෙහෙට එක්ක එන්න කියලා ...ඔයා මෙහෙ හිටියොත් මටත් ලේසියි ඩිලානි .... මාත් ආයෙත් ඉක්මනට රට යන්න ඕනනේ...මගෙ දුව ලිහිණි තනියම එහේ....ඔයා මෙහෙ හිටියොත් ඩිල්ශාන්ව ඔයාට බලාගන්න අරින්න පුලුවන් ....තව කොච්චර දවසක් ඩිල්ශාන්ට ඉස්පිරිතාලේ ඉන්න වෙයිද දන්නෙ නෑ .... ඔයාගෙ තනියට රෝසිවත් ගේමු...."


"ඩිලානි ඉන්නව නම් ඩිල්ශාන් උනත් කැමති වෙයි..." මිස්ට රණදේව කීහ.


"නිශ්ශංක ඔයා ගිහින් වොශ් එකක් දාලා කන්න එන්න....ඊයෙ ඉදන් ඔයා හරියට කෑම කාලත් නෑ නිදාගෙනත් නෑනේ.... අද ටිකක් වේලාසනින් ඔයා නිදා ගන්න......මොනව උනත්, ඩිල්ශාන්ගෙ කකුල අද කැපුවෙ නැති නිසා හිතට හොදයි ... අපි එයාව ඉක්මනට කොහේ හරි රටකට ගෙනිහින් සනීප කරගන්න බලමු. එයාව ඉක්මනට ඇවිදගන්න පුලුවන් තත්වෙට ගන්න ඕනේ.... ."


"ඇත්තමයි, ලිලානී මගේ හිතටත් යාන්තමට හොදයි එයාගෙ කකුල කැපුවෙ නැති බව දැන ගත්තහම.....අපි හෙටම බලමු, කොහේ හරි රටකට ගෙනිහින් එයාව සනීප කර ගන්න...."


*********

ඩිල්ශාන්ට දවස් හතරක්ම දැඩි සත්කාර ඒකකයෙ හිදින්නට විය. ඒ දින වල දවසට දෙපාරක්, මමත්, ආන්ටි ලිලානී හා අංකල් නිශ්ශංක ඔහු බලන්න ගියෙමු.


මම කොළඹ ඇවිත් දිනකට පසු, රෝසිද රැගෙන තෝමස් කොළඹ ආවේ වත්තේ වාහනයකිනි. ඔවුන් දෙදෙනා මාත්, ඩිල්ශාන්වත් බැලීමට කොළඹ ඒම මගෙ හිතට සතුටක් විය. රෝසිව කොළඹ ලිලානී ආන්ටිලාගෙ ගෙදරට බස්සා, තෝමස් නැවත නුවරඑළි යන්න ප්‍රථම මම ,රෝසි හා ඔහු සමග කොච්චි කඩේ පල්ලියට යන්නටද අමතක නොකෙරුවෙමි. මෙවර අපි කොච්චි කඩේ පල්ලියට ගියේ ඩිල්ශාන් වෙනුවෙනි.....


"තෝමස් ඔයා ආපහු නුවරඑළි යන්න ඉස්සර මාව රත්මලානේ මහළු මඩමක ඉන්න, සීතම්මාව බලන්න එක්ක යන්න පුලුවන්ද ....?


"ඩිල්ශාන් සර් තවම දැඩි සත්කාර ඒකකයේ නිසා, ඔයා යන්න තියෙන ගමනක් ගිහින් ඉක්මනට ඉවර කර ගන්න....දැන් සර්ව වෝඩ් එකට දැම්මට පස්සේ ඔයාට එයා ගැන බලන්න කියලා ලිලානී මැඩම් කිව්වනේ...."


"තෝමස් මට ඔයාට දෙයක් කියන්න බැරි උනානේ....."


"ඇයි....ඒ මොකක්ද ..."?


"ඩිල්ශාන් සර් එදා ඇක්සිඩෙන්ට් එක උන දවසේ, අපිව බස්සන්න අපේ ගෙදර එන ගමන්, මගෙන් ඇහුව්වනේ එයාව කසාද බදින්න කැමතිද කියලා .... ලිලානී ආන්ටි තමයි එයාට කියලා තියෙන්නේ මගෙන් ඒක අහන්න කියලා ....ඒ නිසා තමයි මම ඩිල්ශාන් බලාගන්න කොළඹ ආවෙත්, එයාට සනීප වෙනකම් මෙහෙ නැවතිලා ඉන්න හිතුවෙත්.......ලිලානී ආන්ටි උනත් මාව මෙහෙ නවත්තගෙන ඉන්නේ මම ඩිල්ශාන්ව කසාද බදියි කියන බලාපොරොත්තුවෙන් ..... "


"ඇත්තටම ඩිල්ශාන් සර් එහෙම ඇහුව්වද...? ....ඔයා ඉතිං එයාට කැමතිද අයිරින් ....?


"ඔව්...මම දැන් එයාට කොහොමත් කැමතියි ...."


"ඩිල්ශාන්ව පිටරට හොස්පිටල් එකකට ගෙනිහිල්ලත්, එයාව සනීප කර ගන්න බැරි වෙලා, එයාගෙ කකුල කැපුවෙත්....?? එතකොට ඔයාට පුලුවන්ද එයාට කැමති වෙන්න....?"


"ඔව්...තෝමස් , මම එයාට මොන අමාරුවක් තිබුනත් එයාට දැන් කැමතියි ....මම ඩිල්ශාන් සනීප වෙනකම් කොළඹ නැවතිලා ඉන්නවා ....මම කවද හරි කසාද බදින්නේ ඩිල්ශාන්ව විතරයි ......එයාගෙ මොන අඩුපාඩු තිබුනත් මම එයාව අමතක කරන්නෙ නෑ...."


"ඔයාගෙ කැමැත්තක් අයිරින් ...."

-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා*

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page