♨️අයිරින් ඩිලානි ♨️ නොසැලෙන දියණි ( 54 වෙනි කොටස)
- Prisila Godahewa

- Jul 13, 2021
- 6 min read
ඩිල්ශාන්ගෙ වාහනය ගිය පාරේන් ඇසුනු සද්දය බලන්න, තෝමස් කන්ද උඩහට දිව ගියේ, හරි වේගයෙන්.... ජුඩ්ට තවමත් හරියට ඇවිදගන්න බැරිය. මගේ කෑගැහිල්ලෙ සද්දෙට ඔහු, කිහිළි කරු දෙක බිම ඇන ඇන එළියට ආවේ, බයෙන් මෙනි....
"මේ දැන් ඩිල්ශාන් සර් ඇවිත් ගියා විතරයි ජූඩ් .....මොකක් හරි ලොකු සද්දයක් පල්ලෙහා වංගුව පැත්තෙන් ඇහුනා.... මාත් ගිහින් බලලා එන්නම් ජූඩ්....මෙච්චර වෙලා මගේ කකුල් දෙක පණ නැතුව ගිහින් තිබුනේ..."
" මට හරියට තවම ඇවිදින්න බෑනේ අයිරින් .....මට යන්න විදිහක් නෑ....ඔයාටත් තනියම මේ කරුවලේ යන්න බෑ නේද .....?රෝසි ....කෝ මේ රෝසී....ආ...ඔයත් මේ අයිරින් එක්ක තෝමස් ගිය පැත්තට ගිහින් බලන්න ....යන්න ඉක්මනට යන්න ..."
රෝසි හා මම තෝමස් දිව ගිය පාර පැත්තට දුවගෙන ගියේ කළුවරේමය.....මේ වන විට මුළු කඳු යායම, රෑ කළුවර අඳුරෙන් වැසි ගොස් හමාරය.
" අයිරින් ....අර .....අර පාරෙ අයිනේ වාහන දෙකක් නවත්තලා...කවුද මිනිස්සු දෙතුන් දෙනෙකුත් එතන ඉන්නවා......"
"යමු යමු රෝසි අපි ඉක්මනට දුවලා ගිහින් බලමු, ඩිල්ශාන් සර්ගෙ වාහනේද කියලා ...."
"අයිරින් අර...අර...බලන්න ඩිල්ශාන් අය්යගෙ වාහනේ තමයි අර පල්ලමට වැටිලා තියෙන්නේ ....."
"මොනවා....??අනේ දෙවියනේ ...!
"අර පිරිමි දෙතුන් දෙනෙක් වාහනය තියෙන තැනට යන්න පල්ලමට බහිනවා......අර තෝමසුත් යන්නේ..... තව වත්තේ අයත් වාහනය තියෙන පල්ලමට යන්න හදන්නේ.....ඇහුන සද්දෙට වෙන්නැති, වත්තේ ගෙවල් වල, පිරිමි කට්ටිය තව මේ පැත්තට එනවා පේනවා....මොනව උනත් මේ පළාතේ කට්ටිය සද්දයක් ඇහුනම, දුවගෙන එනවා, රැයක් දවාලක් නොබලා ....අර අර....පල්ලමට ගිය අය ඩිල්ශාන් අය්යව එළියට ගන්න හදන්නේ....කළුවරේ හරියට පේන්නෙත් නෑ.....අනේ ඩිල්ශාන් අය්යා පව්...අපිව ගෙදරට බස්සන්න ඇවිත් මේ කරදරය උනේ....ඉපදුන දවසෙ ඉදන් අපේ තිබුන අවාසනාව ,....අපට උදව් කරන්න ඇවිත්, ඩිල්ශාන් අය්යත් පිටින් ගිහින් වගේ....අපි වගේ අවාසනාවන්ත අය...අපේ ලඟට එන හොද කරුණාවන්ත අයටත් ,කරදරමයි සිද්ද වෙන්නේ...."
රෝසි නොනවත්වා කියවාගෙන යයි....ඩිල්ශාන්ගෙ වාහනය පල්ලමට පෙරළි ගොස් ඇති හැටි බලන්න, වත්තේ වැඩ කරන මිනිසුන් එක් රොක් වේ....මගේ හිත බයෙන් දුකෙන් ගැහේ....මට වටපිටාවේ මිනිසුන්ගෙ සද්ද මැදින් මගේ ඇස් නිලංකාර වීගෙන යනවා දැනින.....
********
පසුගිය රෑ ඩිල්ශාන්ව තෝමස් ඇතුළු වත්තේ මිනිසුන් නුවරඑළිය ඉස්පිරිතාලේට ගෙන ගොස් ඇත. ඔවුන් ඔහුව කෙසේ ගෙනයන ලැබුවේද අසන්නට මට සිහියක් නොවිය. රෝසි මගේ ඇඳ ලඟ වාඩි වී දුකෙන් බලා හිදී....ඩිල්ශාන්ගෙ වාහනය පෙරළුන තැනදි මට සිහිනැති වි ගොස්, එතැන සිට මාව ගෙදරට කවුරු රැගෙන ආවාදැයි අසන්න මට අවශ්‍ය නැත....ඉස්පිරිතාලේට රැගෙන ගිය ඩිල්ශාන් ගේ තත්ත්වය ගැන විතරයි මට දැනගන්න අවශ්‍ය උනේ......ඊයේ රෑ තෝමස් ,අනෙක් පිරිමි කට්ටිය සමග, ඩිල්ශාන්ව ඉස්පිරිතාලේට රැගෙන ගිය බව රෝසි කීවේ දුකෙන් බරවය....දැන් තව දවසකට එළිය වැටිලත්, තෝමස් තවමත් ඉස්පිරිතාලේ සිට ගෙදර නොඒම මගේ හිතට ඇති කලේ ලොකු බියකි....අනේ මම වගේ අවාසනාවන්ත ගැහැනියක්....මගේ ආදරය බලාපොරොත්තුවෙන් මට, විවාහ යෝජනාවක් ඉදිරිපත් කල, පෝසත් ,ගුණ ගරුක කඩවසම් තරුණයාට මොනවද මේ හිටි හැටියේ උනේ....මම ඉපදුනදා සිට, විදි දුක් කන්දරාව නිමා කර වාසනාවන්ත,සරුසාර විවාහ ජීවිතයක් බලාපොරොත්තුවෙන් ඊයේ හවස් වරුවේ මම ඩිල්ශාන් වෙනුවෙන් ,ඔහු සමග එකට ගත කරන්න ලැබෙන විවාහ ජීවිතයක් ගැන, පැතු පැතුම් සියල්ල......කොයිතරම් නම් ටික කාලයකටද මගේ හිතේ ඒ සතුට, පැතුම් ගොන්න රදා පැවතියේ....ඩිල්ශාන්, මගෙන්, ඔහුව කසාද බදින්න කැමති දැයි අසා පැයක දෙකකටත් අඩු කාලයක් තුල, මම ලැබු සතුට,හිතට නැගුණු පළමු ආදර සිතිවිල්ල, ඒ සියල්ල නැතිවි ගිය හැටි....මම තරම් අවසනාවන්තියක් නම් තව මේ ලෝකේ නැතුව ඇතැයි මට සිතේ.....කන්‍යාතුමියක් වීමට බලාපොරොත්තුවෙන් සිටි මම,ඒ අදහස අත් හැර ගිහි ජීවීතයක් බලාපොරොත්තුවෙන් පැතු පැතුම් සියල්ල වියකි යන්නද මේ හදන්නේ....අනේ දෙවියනේ ඩිල්ශාන්ට කරදරයක් වෙයිදෝ...? අනේ දෙවියනේ ඔහුට කිසිම කරදරයක් නොවේවායි මම පපුව බදාගෙන දෙවියන්ට යාච්ඥා කරන්න පටන් ගත්තෙමි .....
"ඇයි දන්නෙ නෑ ඊයේ රෑ ඉස්පිරිතාලේ ගිය තෝමස් තාම ආවෙ නැත්තේ...." රෝසිද, ඩිල්ශාන් වෙනුවෙන් දුක් වෙයි.....
"අනේ රෝසි ඔයා අලුත් බංගලාවට ගිහින් ,පෙරුමාල්ගෙන්, ඩිල්ශාන් සර්ගෙ විස්තර අහගෙන එන්නකෝ.....බංගලාවේ කවුරු හරි ඉස්පිරිතාලේ යනවා නම් අපි දෙන්නවත් එක්ක යන්න කියන්න ...."
"හා....මටත් ඒක හිතිලා තිබුනේ....ඊයෙ හවස ඩිල්ශාන් අය්යා මා එක්ක කතා කරපු හැටි, මට ජොබ් එකක් හොයලා දෙනවා කිව්ව හැටි මතක් වෙනකොට හරිම දුකයි එයා ගැන, කොච්චර හොද කෙනෙක්ද ඩිල්ශාන් අය්යා.....ඇයි අනේ එයාට එහෙම උනේ....අපි දෙන්නට මෙච්චර කාලයක් තිබ්බ අවාසනාව අනේ ඩිල්ශාන් අය්යා පිටින් ගියා වගේ....අපේ ලඟට කිට්ටු වෙන අයටත් ඇයි එහෙම වෙන්නේ....? අපි ඒ තරම් අවාසනාවන්ත අයද අයිරින්.???...රෝසි අඩයි...... එහෙනම් අයිරින් මම බංගලාවට ගිහින් පෙරුමාල්ගෙන් අහලා එන්නම්ද ඩිල්ශාන් අය්යගෙ විස්තර ......ඊයෙ හවස අපි දෙන්නව බස්සලා යන ගමන්නේ ඩිල්ශාන් අය්යට මෙහෙම උනේ....මටත් හරි බයයි එයාට කරදරයක්ද කියලා ....අපේ අවාසනාව එයාගෙ පිටින් ගියාද දන්නෙ නෑ අයිරින් ....???"
"අනේ මන්දා රෝසි, මටත් හිතෙන්නේ එහෙමම තමයි ...."
"කෝකටත් ඔයත් ඇදුමක් දාගෙන බංගලාවට යන්න ආවනම්, බංගලාවේ කවුරු හරි ඉස්පිරිතාලේ යන්න ලෑස්ති වෙලා හිටියොත් අපට ඒ එක්කම යන්න පුලුවන් ...."
"අනේ ඔව් රෝසි මමත් හොද ඇදුමක් ඇඳගෙන එන්නම්, එහෙනම් අපි දෙන්නම යමු...."
මම ඉක්මනට හොද ඇදුමක් ඇඳගෙන, රෝසි සමග අලුත් බංගලාව පැත්තට අඩිය ඉක්මන් කරමින් ගියෙමු .
"අර බංගලාව ලඟ වත්තේ මිනිස්සු තුන් හතර දෙනෙක්ම ඉන්නවා, සර්ට කරදරයක්ද දන්නෙ නෑ...."
"අනේ මට බයයි රෝසි....."
"ආ....ඔය දෙන්නත් ආවද.....මම මේ දැන්, බංගලාවේ වාහනෙන් ඉස්පිරිතාලේ ඉදන් ආවේ...."
ඊයෙ රෑ ඩිල්ශාන් සර්ට වෙච්ච අනතුර බලන්න ගිය තෝමස් ,එවෙලේ ඔහු ඇදන් හිටි ඇඳුමෙන්ම ඉස්පිරිතාලේට ගොස් ඉඳ, ඇවිත් ඇත්තේ දැන් ය.
"සර්ට දැන් කොහොමද තෝමස් ...?
"තාම සිහිය නෑ....ඊයෙ අපි ඉස්පිරිතාලේට එක්ක ගිය ගමන් සර්ව,දැඩි සත්කාර ඒකකයට ගත්තා....මම තව දෙන්නෙක් එක්ක එතනට වෙලාම හිටියා.....ඊයේ රෑ අපි රණදේව සර්ට දුන්න කෝල් එකට, සර් කොළඹ ඉදන් එනකොට උදේ පහ විතර උනා....සර් ආවට පස්සෙ තමයි අපි මේ ගෙදර ආවේ...."
"අනේ සර්ට ගොඩක් අමාරුද දන්නෙ නෑ නේද තෝමස් ..."
"මම හිතන්නෙ ගොඩක් අමාරුයි ....සර් කිව්වා පෙරුමාල්ට ඩිල්ශාන් සර්ගෙ ඇදුම් ටිකක් ඇරගෙන ඉස්පිරිතාලේට එන්න කියලා .....සමහර විට රණදේව සර්, ඩිල්ශාන් සර්ව කොළඹ ඉස්පිරිතාලේකට එක්ක යයිද දන්නෙ නෑ...."
"අනේ තෝමස් මම පෙරුමාල් එක්ක ඉස්පිරිතාලේට ගිහින් එන්නද....ඊයේ අපිව ගෙදරට බස්සන්න ආව ඩිල්ශාන් සර්ටනේ මේ කරදරය උනේ...."
"එහෙනම් ඔයා පෙරුමාල් යන වාහනේම ඉස්පිරිතාලේට ගිහින් එන්න....."
පෙරුමාල් සමග වත්තේ බංගලාවේ වාහනයකින්, මම ඩිල්ශාන් බලන්න ඉස්පිරිතාලේ ගියේ හිත ඇතුළින් අඬමින් දෙවියන් යදිමින්‍ය ....ජීවිතේ පළවෙනි වතාවට ආදරයක් කියා දෙයක් , හිතට දැනුන මට, ඩිල්ශාන් සමග විවාහ වී, සැපවත් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියා ප්‍රර්තනා කරපු මට......අනේ මේ මොනවද උනේ....??
"අනේ සුදු නෝනා,.... මම ඩිල්ශාන් මහත්තයාට ඊයෙ රෑට කන්න කෑම හදාගෙන, මහත්තයා එනකම් බංගලාවේ බලාගෙන ඉන්න කොට තමයි වත්තේ කෙනෙක් දුවගෙන ඇවිත් මට පණිවිඩය කිව්වේ....මහත්තයාගෙ වාහනේ වංගුවෙ පල්ලමකට වැටිලා කියලා ...... තේ වත්තේ භාග ලොරියක්, කන්දේ, පල්ලෙහා ඉදන් හයියෙන් ඇවිත්....මහත්තයා පාරේ අයිනකට වෙන්න හදන කොට තමයි, මහත්තයාගේ වාහනය පහලට පෙරළිලා තියෙන්නේ .....ලොරි කාරයා හවස අඩියක් එහෙම ගහලා ඉදලා තියෙන්නේ .....මෙහේ මිනිස්සු ඉතිං හවස් වෙනකොට, සීතලටත්, ඇඟේ මහන්සියටත් එක්ක අරක්කු බී ගන්නවනේ නෝනා....බීලා වාහනේ හයියෙන් එළව ගෙන එනකොට තමයි මේක වෙලා තියෙන්නේ .... , ඩිල්ශාන් මහත්තයාට මේ පැත්තෙ පාරවල් පුරුදු නෑනේ....ඒ නිසා තමයි , වාහනය පාලනය කර ගන්න බැරුව හෙළට වැටිලා තියෙන්නේ .....ලොරියත් කන්ඳේ කොනක බැම්මකට පෙරළි ඇලවිලා තියෙන හැටි මම ඊයේ රෑ දැක්කා.... මමයි වත්තේ මිනිස්සුයි, ලොරි කාරයාට ඒ වේලේම වෙරි හිදෙන්න හොදටම ගැහුව්වා...."
"කවුද වාහනේ එළවලා තියෙන්නේ ....වත්තේ ලොරියක්ද...? මම දන්න කෙනෙක්ද...?
"ඔව් නෝනා,...නෝනා දැකලත් ඇති ඒ තංගයියා......
නිතර තේ වත්තේ ඔෆිස් එකට එනවා...."
"ඒ වෙලාවෙ අපේ ගෙදරට ඇහුනා වාහනේ වැටෙන සද්දේ.....මම බය උනා ඇහුන සද්දෙට....ඒ වෙලාවෙ ඩිල්ශාන් සර් අපිව, අපේ ගෙදරින් බස්සලා ආපහු ගෙදර යන ගමන්...."
"ලොකු මහත්තයා ,කොළඹ යනකොට කියලා ගියේ, ඩිල්ශාන් මහත්තයාට වාහන පදවන්න එපා කියලා ....දැන් ලොකු මහත්තයා මේවා දැනගත්තහම මටත් බනියි....ඩිල්ශාන් මහත්තයාට වාහනය ගෙනියන්න දුන්නා කියලා ...."
"මහ පාර කියලා හිතාගෙන වෙන්න ඇති අර මනුස්සයා ,කඩාගෙන හයියෙන් ඉස්සරහට එන්න ඇත්තේ......ඊටත් කළුවරේ ..... මිනිහා අන්තිම මොහොතේ ඩිල්ශාන් මහත්තයාගෙ වාහනේ දැකලා ගහපු බ්‍රේක් එකටයි, ඒ වාහනය කන්දෙ බැම්මට පෙරළුන සද්දෙයි, මහත්තයාගෙ වාහනේ හෙලට වැටුන සද්දෙයි තමයි හැමෝටම ඇහිලා තියෙන්නේ ..... මහත්තයාව පෙරළුන වාහනෙන් එළියට ඇරගෙන කන්දේ උඩහට ගෙනල්ලා ඉස්පිරිතාලේට අරින්න හැමෝම මහන්සි වෙලා......"
"අර ඩ්‍රයිවර් හොදටම බීලා ඉදලා තියෙන්නේ ......රණදේව සර් දන්නවානම් ඔය මනුස්සයාව රස්සාවෙන් අස් කරනවා .....මිනිහා හොදටම බය වෙලා ඉන්නේ ...
මිනිහට ගමේ මිනිස්සු ගැහුව්වනේ......තෝමස් මහත්තයා තමයි දුවලා ඇවිත් මිනිහව බේරුවේ....."
රණදේව සර් මේපමණ කාලයක් අපට කල කී උදව් වෙනුවෙන් , තෝමස් තනි කැමැත්තෙන්ම.... ඩිල්ශාන්ව ඉස්පිරිතාලේට රැගෙන ගොස්, ඊයේ රෑ එළි වෙනම් ඔහු ලඟ ඉන්න ඉදිරිපත් වීම ගැන, මගේ හිතට හොද විය....
" සුදු නෝනා අපි ඉස්පිරිතාලේට ආවා...එහෙනම් ඉක්මනට ඇතුලට යමු....."
"අර ඉන්නේ මිස්ට රණදේව ....අපි ගිහින් බලමු ඩිල්ශාන් සර්ට දැන් කොහොමද කියලා ...."
රණදේව සර්, නුවරඑළියේ ඉස්පිරිතාලේට ,කොළඹ සිට ඇවිත් තිබුනේ තනියමය. ඔහු ඩිල්ශාන්ගෙ ඇක්සිඩන්ට් එක දැනගත් මොහොතේම කොළඹ සිට තනියම වාහනයක ඇවිත් ඇත. උදේ පාන්දර උනත්, ඔහුගෙ පෙනුමේ ඇත්තේ ලොකු විඩාපත් පෙනුමකි. ඊට යටින් දැඩි කණගාටුවකින් ඉන්නා බවද පෙනේ...
"ආ...ඩිලානිත් ආවද...? බලන්නකෝ මේ ළමයා කරගෙන තියෙන දෙයක් ....ඩිල්ශාන්ට තවම සිහිය ඇවිල්ලා නෑ.... මම බැලුවේ ඩිල්ශාන්ව කොළඹ එක්ක යන්න කියලා ....ඇම්බියුලන්ස් එක දැන් රෙඩි කරනවා....මම මේ බැලුවේ කාවද එයා එක්ක ඇම්බියුලන්ස් එකේ අරින්නෙ කියලා ...."
"මම ඇම්බියුලන්ස් එකේ යන්නම් මිස්ට රණදේව ...."
"ම්ම්....ඩිලානිට පුළුවන්ද ...? ඔයා වගේ දැනුම් තේරුම් තියෙන කෙනෙක් ගියොත් හොදයි ....පෙරුමාල්ව ඇරලත් බෑ.....බංගලාව බලාගන්න කෙනෙකුත් නෑනේ .... මම ඒ එක්කම ඇම්බියුලන්ස් එක පිටිපස්සෙන් මගේ වාහනේ එනවා...."
"මට පුලුවන් සර් මම යන්නම්...."
"එහෙනම් පෙරුමාල් ,තෝමස් මහත්තයාට පණිවිඩයක් අරින්න, ඩිලානි නෝනා, කොළඹ ගියා කියලා ....කොළඹ ගෙදර ලිලානී මැඩම් ඉන්නවා,....හදිස්සියක් උනොත් ඩිලානිට එහෙ නවතින්න පුලුවන් ...."
"එහෙනම් තව පරක්කු නොවි ඔයගොල්ලෝ යන්න.....ඇම්බියුලන්ස් එක ලෑස්තියි ...අර ඩිල්ශාන්ව ගේනවා ඒකේ ඇතුලට දාන්න.... අපිත් ඔය එක්කම එනවා එහෙනම් ඩිලානි ......"
ඩිල්ශාන්ව තල්ලු කරන ඇදක තබා, ඔක්සිජන් ,සේලයින්,හා තව මොනවද මන්දා බට හයි කර ඇත..... ඔහුගෙ කකුලට අතට ලොකු බැන්ඩේජ් දමා ඇත්තේ බලන්න බය හිතෙන, දුක හිතෙන ගානටය....... ඔහුට තාම සිහිය නැති හැටි දැක මට ආ ඇඩුම මම බොහෝම අමාරුවෙන් නවත්වා ගත්තෙමි.....
ඔහුව ගෙනයන ඇම්බියුලන්ස් රතයේ, ඔහුගෙ ඇඳ ලඟින්ම මට වාඩි වි යන්නට ලැබුනි. ඔහු ඇස්පියාන ඉන්නා හැට්, බලන්න දුකය..... මම හෙමිහිට ඔහුගෙ අත අල්ලාගෙන ඔහු දෙස බලා උන්නේ, හිතේ ඇති දුක ඉවසාගත නොහැකිවය..... මගේ ලඟ දෑස් පියාන සිහි නැතුව සිටින ඔහුගෙ මුහුණ දෙස බලාගෙන ඉදිද්දී මගේ දෑසින් කඳුළු කඩා හැලෙන්නට විය....
"මේ ...මිස්ගෙ කවුද ..."?
"ඇම්බියුලන්ස් රතයේ හෙද නිලදාරියා මම අඩනවා දැක අසයි...."
"මම බදින්න ඉන්න මහත්තයා ...."
"අපරාදේ...වෙච්ච දෙයක් ....මේ කඳුකරේ ඔය වගේ වැස්සේ යන එක හරි භයානකයි ...අපිට ඉතිං මේ ඇම්බියුලන්ස් එකේ වැඩියම කොළඹ ගෙනියන්න වෙන්නේ, ඔය වගේ පාරවල් වල වාහන ඇක්සිඩන්ට් වලින් අමාරු වෙන අය තමයි ...."
"මම මේ දෙවියන්ට යාච්ඥා කරන්නේ මහත්තයාට කරදරයක් වෙන්න එපා කියලා . ..."
-හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *




Comments