♨️අයිරින් ඩිලානි♨️ නොසැලෙන දියණි ( 34 වෙනි කොටස)
- Prisila Godahewa

- Jul 13, 2021
- 6 min read
වෙන්නප්පුවේ මහගෙදරින් මීගමුවේ කොන්වන්ට් එකටත්, එතනින් බදුල්ලේ බාලිකා නිවාසයටත්, එතනින් නුවර එළියේ කන්‍යාරාමයට ආ ගමනේ මට මතක හිටින, මට උදව් උපකාර කළ අය අතර, සීතම්මා ,ලතා අක්කා, කුසුමෙ නැන්දා වගේම ....බාලිකා නිවාසයෙන් පැන යන්නට මට දිරි දුන්, මැඩම්ගෙ යාළු තරුණ උස මහත්මාත් මම අනිවාර්යයෙන්ම මතක් කළ යුතු අය වගේම, ස්තූති කළයුතු අය අතර වේ....එම උස තැනැත්තා නොසිටින්නට මට තනි තීරණයක් ගත නොහැකිව බාළිකා නිවාසයේ මැඩම්ගෙ උගුලට අසුවි මගේ ජීවිතය නැති නාස්ති වන්නට ඉඩ තිබුනි..... එම නිසා මගේ ජීවිත කාලය තුළ මම ඔහුට සදා ණයගැති බව කියන්න, ඔහුට ස්තුති කරන්න ....අනේ තවත් දවසක ඔහු මට හමුවෙනවා නම් යැයි මට සිතේ......මම, මගේ සහෝදරයන්ට වගේම සීතාම්මාට ,කුසුමෙ නැන්දාට, ලතා අක්කාට හා මට මෙතනට එන්න දිරි දුන් ඔහු වෙනුවෙන්ද දැන් යාච්ඥා කිරීමට අමතක නොකරමි.
"බොහෝම ස්තුතියි මදර්...මට මෙහෙ නවාතැන් ගන්න ඉඩ දුන්නට ......මට කන්‍යාතුමියක් වීමට පෙර කිරීමට තව වැඩ කොටසක් ඉතිරි වෙලා තියෙනවා .....ඔබ තුමියට ඒ ගැන මම මෙහෙට ආව, මුල්ම දිනවල කිව්වා, ඒක මතක ඇති කියලා හිතනවා.....මට අනුකම්පා කරලා මගේ, සහෝදරයන් මට හොයා ගන්න උදව් කරන්න මදර්........ මගේ එකම ආසාව තමයි කවදාහරි කන්‍යාතුමියක් වීම....ඒකට මට තව ටික කාලයක් දෙන්න මදර් ...."
"ඔයාගේ ලොකුම ආශාව මම දන්නවා....එම ආසාවල් තියාගෙන ඔයාට මෙතන තියෙන වතාවක් පිරිම අමාරුයි ....ඒ නිසා මුළින් ඔයා ඒ යුතුකම් ආශාවන් ඉශ්ට කරගෙන පස්සේ කන්‍යාතුමියක් වන අදහස වෙනුවෙන් වැඩ කරන්න ... මම ඔයාට මෙහේ නවාතැන් දුන්නේ, දෙමව්පියන් නැති දරුවෙක් නිසාත් .....කතෝලික දරුවෙක් නිසාත්....දෙවියන් වහන්සේගේ කැමැත්තට අපි ඉඩ දිය යුතුයි .....
"බොහෝම ස්තුතියි මදර්....දැන් මට අවුරුදු විස්සත් පිරිලා නිසා මට රස්සාවක් කරලා සල්ලි ටිකක් හොයාගෙන, මගේ හිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව, ඉලක්කය, මගේ සහෝදරයන් වෙනුවෙන් ඉශ්ට කරගන්න එක තමයි මගේ උවමනාව ආසාව.... , තව පරක්කු නොවි මම මගේ, අය්යා නංගි මල්ලි ඉක්මනට හොයාගෙන යන්න ඕනේ මදර් ......අපේ, ග්‍රැනීගේ , මමීගෙ මරණයත් එක්ක අපේ මුළු පවුලම සී සි කඩ විසිර ගියා .... අනේ මගෙ සහෝදර සහෝදරියෝ හොයාගන් මට උදව් කරන්න මදර්....මම ඊට පස්සේ දෙවියන් වහන්සේ වෙනුවෙන්ම කැපවෙලා, භක්තියෙන් ඒ වතාවත් පුරමින් මේ දේවස්ථානය තුල, මේ කන්‍යාරාමයේ නවාතැන් ගෙන මගේ ජීවිතය කෙලවර කරගන්න තමයි කැමතියි ....මට ඒකට දේවියන් වහසේගෙ නාමයෙන් උදව් උපකාර කරන්න...."
"ඔව් බලමු අපි මොනවද කරන්න පුලුවන් කියලා අයිරින්... ...මේ කන්‍යාරාමයේ සහොදරියන්ට ,කෑම බීම ඇදුම් පැළඳුම් වලින් උදව් උපකාර කරන, මේ පළාතේ පවුල් හත අටක් ඉන්නවා....ඒ අය ඉදහිට මෙහෙ යන එනවා ....මම ඒ කාට හරි කියලා ඔයාට ජොබ් එකක් මුලින් හොයලා දෙන්න බලන්නම්....ඊට පස්සෙ ඔයාට පුලුවන් ඔයාගේ කැමැත්ත විදිහට ඔයාගෙ සහෝදරයන් හොයාගෙන යන්න.....ඒ කටයුතු ඉවර උනාට පස්සේ අපි බලමු ඔයාගේ අනෙක් ආසාව....දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපවීම...... "
"ඔබ තුමියට බොහෝම ස්තුතියි .... ජේසු පිහිටයි...."
මගේ අලුත් නවාතැනේ කන්‍යාතුමියන් දොලොස් දෙනෙක් පමණ නැවති හිදියි ..... නුවරඑළියේ සිට මන්දාරම් නුවර පසුකර හැතැප්ම ගානක් ගිය පසු ,ඉහළ කදු මුදුනක පිහිටා ඇති ,මෙම කන්‍යාරාමයට යන පාරේ එක පැත්තක්, විශාල තේ වතු යායකින් අවසන් වේ....ඉන් අනෙක් පැති බෑවුමේ ,පේළියට එළවළු වර්ග වගා කර ඇත.....
බොහෝ පරණ පල්ලියත්, සොහොන් පිටියත් අතර පිහිටා ඇති කන්‍යාතුමියන්ගේ වාසස්ථානය ..... පුදුමාකාර නිහඪ, නිසංසල පරිසරයක , විවිධ කාර මල් වලින් වටේට හැඩවි ඇත.....ඊට අමතරව බංගලාව අවට කන්‍යාතුමියන්ගේ පරිභෝජනය සදහා එළවළු හා පළතුරු වගාකර ඇත්තේ, වත්තේ වැඩට සිටින දෙමළ වයසක ජෝඩුව විසිනි......ඔවුන් විසින් ඉතා පිලිවෙලට සාදා ඇති මෙම පැරණි බංගලාවේ වත්ත පිටිය දෑසට, හිතට ප්‍රිය දසුනක් වේ.... පරිභෝජනය සදහා වගාකර ඇති එළවළු හා පළතුරු වල අතිරික්තය ඔවුන් විකිනිම සදහා කඩ පළට අරියි...... මෙම නුවරඑළි නගරයේ වැසියන්, ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය හෝ අතිරේක ආදායම් මාර්ගයක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස එළවළු පළතුරු වැවීම සිදු කරති..... නුවරඑළියට ලැබි ඇති අනුවර්තන නාමය වන ‘පුංචි එංගලන්තය’ පුරාම අර්තාපල්, කැරට්, ලීක්ස් වැනි එළවළු ද රෝස, ඩේසි, බාබන්ඩේසියා වැනි මල් වර්ග වලින්ද පළ බරවි ඇත.
කන්‍යාරාමය ආසන්නයේම ඇති දේවස්ථානය හා සොහොන් පිටිය මේ පළාතේ කතොලිකයන් සදහාම වෙන්වි ඇත....
සොහොන් පිටිය පුරාවට සිටුවා ඇති සොහොන් කනු, කුරුස හා වේළුනු පර මල්, මල් වඩම් දකින කල මට ග්‍රැනී හා මමී නිතර නිතර මතක් වෙන්නට පටන් ගෙන ඇත....
කන්‍යාරාම බිමේ සිට ඉහළ බලන කල කතෝලික දේවස්තානයත් පහළ බලන කල සොහොන් පිටියත් මීදුම අතරින් දැක ගන්නට ලැබේ..... ....උදේ හවස මේ කදුකර බිමේ දසත විහිදීයන මීදුමෙන් ඇඟට දැඩි සීතලත්, හරිත වර්ණ කදුකරයේ ඇති නිහඬ නිස්කලංක බවත්, මගේ හිත සතුටින් මුස පත් වී ඇත..... කනයාරාම ඉහළ බිමේ සිට පහල බලන කල වටේට ඇති කදු වළල්ලත්,...කොළ පාට වැසි වනාන්තරත් ඊටත් ඈතින් එක දිගට විහිදි ඇති තේවතු යායේ මනස්කාන්ත දර්ශනයත් ගැන කියන්න වචන නැති තරම්‍ය..... කදු මුදුනේ සිට පහලට යන වටවංගු පාරේ ඉද හිට වාහනයක් දෙකක් යනවාද පෙනේ..., ඊටත් පහලින් පෙනෙන තැනිතලා භූමියේ පෙනෙන මනරම් නිස්කලංක බව, ඈතට නිල් පාටට පෙනෙන විශාල වැව...... අනේකවිධ සොඳුරු දසුන් දක්නට ලැබේද්දි මෙතරම් කාලයක් මම මේ රටේ සොඳුරු තැන් දැක ඇත්තේ කොයිතරම් නම් ස්වල්පයක් ද කියා සිතේ....නිස්කලංක පරිසරයේ සැඟවී පිහිටා ඇති කන්‍යාරාමයේ ....තරුණ කන්‍යාතුමියන්ට ඔවුන්ගේ ජීවිත, නිදහසෙන් සැල්ලුවෙන් අවට ලෝකයාගෙන් වසන් වී ගෙවා දමන්නටම අවශ්‍ය සියලු පහසුකම් සියල්ල මෙහි අඩු නැතුව ඇත......
කන්‍යාරාමයේ සිට්න වැඩිහිටි කන්‍යාතුමියන් පස් හය දෙනාට අමතරව එහි සිටින අනෙක් සියලු තරුණ කන්‍යාතුමියන් මා සමග දැන් බොහෝ මිත්‍රය.... ඔවුන් නිතර මා සමග කතා බස් කරමින්, මගේ දුක සැප අසා මට උදව් උපකාර කරන්න ඉදිරිපත් වි ඇත්තේ හදවතින්මය.... . අවුරුදු ගනනාවක් පුරාවට, තැළුනු, පොඩිවුන, අසරණ උන මගේ හිතට, එය ලොකු සැනසිමක් ගෙන දෙයි. ...ඔවුන් සැමගේ කාරුණික වදන් ,අවවාද අනුශාසනා මගේ හිතට ලොකු ආශිර්වාදයක්, උපකාරයක් වි ඇත....
මට වඩා අවුරුදු පහක් පමණ වැඩිමහල් සිස්ටර් ෆර්නි ....කන්‍යාරාමයේ දැන් මගේ හොදම මිතුරිය වී හමාරය....ඇගේ කාරුණික වදන්, අනුශාසනා , මගේ ගිනිගත්, සොවින් බරවු හදට ,සිහින් සුළං රැල්ලක් ලෙස හමා ඇවිත් මා සිත සුවපත් කරයි....
"අයිරින් "අපි යමු කනත්ත පැත්තට....මම ඒ සොහොන් බිමේ එහෙ මෙහෙ ඇවිදින්න හරි ආසයි...."
"මාත් මේ නිස්කලංක වටපිටාවට හරි කැමතියි සිස්ටර් ....අර බලන්නකෝ අර තේ වතු යාය මැදින් වැටිලා තියෙන මීදුම් පටලය ...කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නෑ....අර බලන්න අර පල්ලෙහා හෙල්මළු ක්‍රමයට එළවළු වගා කරලා තියෙන ලස්සන ...."
"ඇයි අර ඈතට පේන හීන් රිදී ඇල්ල......කොයිතරම් නම් නිදහස් නිස්කලංක පැත්තක්ද මේ....."
"මේ පුංච් ලංකාවේ අපි නොදැකපු කොයිතරම් නම් සුන්දර තැන් තියෙනවද කියලා දැන් තමයි "සිස්ටර්" මට හිතෙන්නේ .....ලංකාවේ ලස්සන තැන් අතරින් මේ පුංච් එංගලන්තය නම්, අනුවර්තන නාමය ලැබිලා තියෙන මේ නුවරඑළිය අවට කදුකර පැති වලටම එන්න ඕනේ ලංකාවේ කඩා හැලෙනා සුන්දරත්වය බලන්න ..... මට මේ වගේ නිදහස් බිමක ඇති මේ කන්‍යාරාමයේ, නවාතැන් ගන්නට ලැබීම මගේ වාසනාවක් කියලමයි මට හිතෙන්නේ සිස්ටර් ......"
"ඔව්...ඒ වගේම ඔයාව මේ කොන්වන්ට් එකේ තියා ගන්න ලොකු මදර් කැමති උන එකත්, පුදුමයක්....ඔයාගෙ වාසනාවක් ..."
"මම අනාත නිවාසෙක හැදුනට මගේ දෙමව්පියන් ගොඩක් හොද පරම්පරාවකින් පැවත ආපු අය සිස්ටර් .....මගේ මමී නැති වුනාට පස්සේ ජූලියා ආන්ටි අපෙ ඩැඩි ව රවට්ටගෙන කසාද බැදපු නිසා තමයි, මටයි මගේ අය්යලා මල්ලිලා හැමොටම ඉන්න හිටින්න තැන් නැති උනේ....අන්තිමට අපේ පවුලට උන හැම දෙයක්ම ඩැඩිට තේරුම් යන කොට.... එයාට මානසික ලෙඩක් හැදිලා .....ජුලීයා එයාව අංගොඩ මානසික රෝහලේ නැවැත්තුවාට පස්සේ තමයි අපේ ඩැඩි ආන්ත්‍ර වෙලා තියෙන්නේ ......ඊට පස්සෙ අපේ ගෙවල් දොරවල් ඔක්කොම හොර ඔප්පු හදලා විකුනලා තමයි , ජූලියා රට ගිහින් තියෙන්නේ ......ඕවා මට මීගමුවේ කොන්වන්ට් එකේ හිටිය කාලෙම ආරංචි උනා,.... දැන් අපේ වෙන්නප්පුවේ ගෙදර චයිනීස් රෙස්ටුරන්ට් එකක් පවත්වාගෙන යනවා කියන්නේ....... අපේ ලොකු මමී ඒ කියන්නේ අපේ මමීගෙ අක්කා.....ග්‍රැනී එයාට නොදී අපේ පවුලේ මහ ගෙදර, අපේ මමීට දෑවැද්දට දුන්නට ඉස්සර ඉදන් කේන්තියෙන් ඉදලා තියෙන්නේ......ඒකයි ලොකු මමී අපේ මමිගෙ මරණෙන් පස්සෙ පුංච් අපි ගැන උනත් ඒ හැටි බලලා නැත්තේ .....ලොකු මමී අපි හැමෝටම ළමා මඩම් වලට යන්න වැඩ සලස්වා.... , යමක්, තේරුමක් තිබුනු තෝමස් අය්යා පමනක්, එයාගෙ ගෙදර එක්කගෙන ගෙනිහිල්ලා තියෙන්නේ ඒකයි..... අය්යගෙන් ලොකු මමී එයාගෙ ගෙදර වැඩපල කරව ගෙන තියෙනවා ...කොළඹ ගෙවන ඉස්කෝලෙකට ගිය අය්යව ඊට පස්සෙ ආන්ඩුවේ ඉස්කෝලේකට යැවුවයි කියලා මට ආරංචි උනා..... ඊට පස්සේ ලොකු මමීලා රට ගියාට පස්සේ තෝමස්ට මොනවා උනාද දන්නෙ නෑ සිස්ටර් .... ...ලොකු මමීගෙ කොළඹ ගෙවල් දොරවල් විකුනලා ඒගොල්ලෝ රට ගියා කියලා පමනයි මට දැන ගන්න ලැබුනේ.....ඩැඩීගෙන් ආරංචියක් නැතුව ,මගේ පාසැල් ගාස්තු ගන්න විදිහක් නැතුව, කොන්වන්ට් එකේ මදර් සුපීරියර් ලොකු මමීට දුරකතන ඇමතුමක් දෙන විටත් ඒගොල්ලොත් ගෙවල් දොරවල් විකුනා දලා පිටරට ගොස් හිටිය බව තමයි ආරංචි උනේ...., මගේ පාසැල් ගාස්තු ගෙවා දැමීමට කිසිවෙක් නොහිටිය නිසා අවසානයේ මට බාලිකා නිවාසයට යන්නට උනා.....මට මගේ ජීවිතයට උන දේවල් මතක් වෙනකොට ඇති වෙන්නේ ලොකු දුකක්....අසරණ කමක්...."
"මට අයිරීන් ගැන හරි දුකයි .... අපී ඔයාගෙ අය්යා, නංගි මල්ලි ....හොයාගන්න බලමු....".
" හරියටම අවුරුදු එකොළහකින් විතර මට මගේ අය්යා, මල්ලි නංගි දැක ගන්න ලැබුනේ නෑ....මගේ දැන් තියෙන ලොකුම බලාපොරොත්තුව , මගේ සහෝදර සහෝදරියන් සොයා යෑම තමයි සිස්ටර් ...."
"අපි ඒකට උත්සහ කරලා බලමු....හැබැයි ඔයාට ඔයාගෙ සහෝදර සහොදරියන් හොයා ගන්න නම් මුළින් රස්සාවක් හොයා ගන්න වෙනවනේ......මොකද ඔයාට ඒ වෙනුවෙන් වියදම් කරන්න, එහෙ මෙහෙ යන්න එන්න පුලුවන් කමක් නෑනේ....මෙහෙ ඉදන් .... ඔයාට රස්සාවක් හොයලා දෙන්න අපි බලන්නම්....හැබැයි ඊට පස්සෙ රස්සාව හම්බ උනොත් අපට, ඔයාව මේ කන්‍යාරාමයේ තියා ගන්න පුලුවන් කමකුත් නැතුව යනවා.. ....ඊට පස්සෙ ඔයාගෙ අනාගතය ඔයාටම තනියම හදාගන්න නවාතැනකුත් හොයාගන්න වෙනවා...."
"කමක් නෑ සිස්ටර් ....මට ජොබ් එකක් හොයලා දෙන්නකෝ....මම බෝඩිමක් හොයාගෙන මගේ අය්යා නංගි මල්ලි හොයාගෙන යන්න බලන්නම්...."
"මම අයිරින්ට උදව් කරන්න බලන්නම්.....මුළින් ඒකට අපට ලොකු මදර්ගෙන් අවසර ගන්න වෙනවා....."
"කොහොමද සිස්ටර් අපි ඒක කරන්නේ...."
"ඔයාගෙ සහෝදරයන් හොයා ගන්න නම් අපි ඉස්සෙල්ලා මීගමුවේ කොන්වන්ට් එකට යන්න ඕනේ......ඊට පස්සේ ඔයාගෙ ලොකු මමීගෙ ගෙවල් තිබුන පැත්ත හොයාගන්න ඕනේ........"
"ලොකු මමී ගෙවල් දොරවල් විකුනලා රට ගිහිල්ලා කියනවනේ....."
"ඔව්...ඒ උනාට ඒ අවට ගෙවල් වලින් හොයලා බලමු ඒගොල්ලන්ගෙ විස්තර ..."
"ලොකු උදව්වක් සිස්ටර් ...
"අපි ලොකු මැඩම්ගෙන් අවසර ඇරන් ඉස්සෙල්ලා ,එන සුමානෙ දිහාවට මීගමු කොන්වන්ට් එකට ගිහින් ඔයාගෙ නෑදෑයින්ගෙ, පරණ විස්තර එහෙම හොයා ගන්න බලමු........"
-සදුදාට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා*






Comments