♨️අයිරින් ඩිලානි♨️ නොසැලෙන දියණි (30වෙනි කොටස )
- Prisila Godahewa

- Jul 13, 2021
- 6 min read
"එන්න එන්න වික්‍රම මේ කාමරයට......රුබේරු ගෝමස්.....මේ කාමර දෙක ඔය ගොල්ලන්ට මේ දවස් දෙකට නවතින්න .....එහෙනම් ඔයගොල්ලෝ වොශ් එකක් දාගෙන එළියට එන්නකෝ ...අපි මේ තියෙන සීතල යන්නත් එක්ක, ඇඟ රත්කරගන්න බියර් එකක් විස්කි එකක් එහෙම එළියට වෙලා බොමු.....
"ඒක නම් හොද අදහස.....අද නම් හරි සීතලයි තමයි නේද.?...බලන්නකෝ අර කදුයාය පැත්ත මීදුමෙන් වැහිලා...... හරිම ලස්සනයි .....අපි ඉක්මනට වොශ් එකක් දාගෙන එන්නම්....දවල් ඉදන්ම එන ගමන්නේ මේ......."
මැඩම් හම්බවෙන්න ආ ඇයගේ යහලුවන් ඔවුන්ට නියමිත කාමර වලට ගියේය.
මෙම බාලිකා නිවාසයේ මැඩම්, මීට පෙර කසාද බැඳ හිටපු කෙනෙක් බවත් ,ඇයට දරුවන් නැති නිසා ඇයගෙ සැමියා ඇයව දික්කසාද කර වෙන කෙනෙක් බැඳ ඇති බවත් ලතා අක්කා මට කියා ඇත... ඒ නිසා ඇයගේ දික්කසාද සැමියා සමඟ ඇය තවමත් කේන්තියෙන් ඉන්නා බවත්....ඇයට දැන් පිරිමි යහළුවන් බෝහෝමයක් ඉන්නා බවත් ලතා අක්කා කියා ඇත.... අද මේ ඇවිත් ඉන්නා අයද, ඇය හමුවීමට මීට පෙර මෙහි ආව ගිය අය බව ඔවුන්ගේ කතා බහෙන් තේරේ....
"ඩිලානි... අර සර්ලා දැන් ඇදුම් මාරු කරගෙන, ඇඟපත හෝදගෙන ආවාම ඩිලානි ඉස්සරහට එන්න..... මම ඒ අයට ඔයාව අදුනලා දෙන්නම්....ඔයාගේ රස්සාව වගේම නංගිලා මල්ලිලා ගැනත් ඔයා ඒගොල්ලන්ට කියන්න ...."
"හොදයි මැඩම් ...."
මැඩම් කිව් ලෙසම ඇය ටික වේලාවකින් මට සාලයට අඬ ගැසීය. ඇයගෙ අමුත්තන් ඇඟපත හෝදාගෙන සාලයට යනවා, මීට ටික මොහොතකට පෙර මම දුටිමි.
මම කුස්සියේ සිට මගේ රැකියා ඉල්ලුම් පතත් රැගෙන සාලය වෙත ඔවුන් මුණගැසීමට ගියේ බයේ ගැහෙමින්ය ...."
"එන්න එන්න ඩිලානි ....මේ ඉන්නේ මම කිව්ව සර්ලා.....මේගොල්ලන්ට මම ඔයා ගැන හැම දෙයක්ම කිව්වා...."
බංගලාවේ නිවාඩුව ගත කරන්න ආ බඩ මහත අමුත්තන් දෙදෙනා , ඇඟපත සොදා ගෙන රෑට අදින පහසු ඉරි කළිසම් හා අත්දිග ශර්ට් වලින්, සැරසී ඊට උඩින් ජර්සිද ඇදගෙන ඉදී.... ඔවුන්ගේ අත් හා බෙල්ලේ විශාල රත්තරං මාල බ්‍රේස්ලට් එල්ලෙයි....
මැඩම් ඉතා ආදරයෙන් මට ඒ තඩි බඩ මහත මිනිසුන් දෙදෙනා හා අනෙක් උස කෙනා අඳුන්වා දුන්නාය....උස සාමාන්‍ය පෙනුමැති කෙනා නම් අනෙක් දෙදෙනාට වඩා ටිකක් වැදගත් පෙනුමැතිය. ඔහු අත්දිග ශර්ට් එකක් ඇඳ ඩෙනිමකින් සැරසී හිදියි.... බඩ මහත දෙදෙනා නම් අමු රස්තියාදු පෙනුමැති මිනිසුන් වේ.....
"ඩිලානි මේ බයිට් ටික ගිහින් එලියෙන් තියන්න...තව මොනවද අඩුපාඩු බලන්න ...පාළිකාව මාව නිතර වැරැන්ඩාවේ ඉන්න පිරිමින්ට සංග්‍රහ කරන්නට එළියට යවයි....
ඔවුන් සීතල වැරැන්ඩාවේ මැද කොට මේසයක් උඩ බැන්ඩි, අරක්කු ,සෝඩා වීදුරු පුරවාගෙන, මෙහි ආ විගස මත්පැන් සාජ්ජයක් ආරම්භ කර ඇත ...... ,ඔවුන් මාත් කුමුදිනී අක්කාත් හවස බැදපු කට්ලට් කන ගමන්, අරක්කු වීදුරුද තොල ගාමින්, සිංදුවකට මුළ පුරයි...... ඔවුන් ඉදිරියේ,තව රටකජු මුරුක්කු දීසියක්ද ඇත.....
මම වැරැන්ඩාවට යන එන හැම මොහොතකම ඔවුන් කතා බහ නතර කර, පුදුමයෙන් මෙන් මා දෙස බලා ඉදියි.....ඔවුන්ගේ බැල්ම මට ඇති කලේ බයක්, සැකක් මෙන්ම ලැජ්ජාවකි.....
බාලිකා නිවාසයේ ඉදිරිපිට කදු වළල්ලකින් වැසුනු, කැලෑව....., අවට ගෙවල් දොරවල් කිසිත් නැති පාළුවට ගිය මැඩම්ගෙ නවාතැන....අවට පරිසරයේ නිහඬ බව බිඳිමින් සෙමෙන් තාලයකට බැස යන නිවාස මායිමේ ඇති දොළ පාර..... කෑලෑවේ ගස්වල ඇති පළගැටියන් හා කෘමීන්ගේ නොනවතින ශබ්දයන් අතරින්....මැඩම්ගෙ යහළුවන්ගේ උස් කටහඬවල් ඇසේ....
ඉතා නිදහස් ගුප්ත පරිසරයේ ඇති වැරැන්ඩාවේ.... නිදහසේ වාඩිවී සැර මත් පැන් බොන මැඩම්ගෙ යාලුවන්ට ....මේ කදුකර සීත පරිසරයේ ඔවුන්ට උපරිම නිදහස් සතුට ලබා ගන්නට හැකි වි ඇත...
"එන්න ඩිලානි මේ පැත්තට ....මේ ඉන්නේ මම කිව්ව කොළඹ සර්ලා....
....මේගොල්ලන්ට මම ඔයා ගැන කිව්වා...."
"ඕ....මෙයා ගැනද ඩේසි කිව්වේ.....මෙයාට නම් කොළඹින් රස්සාවක් හොයාගන්න අමාරු වෙන එකක් නෑ...."
එකෙක් මගේ උඩ සිට පල්ලෙහාට යනකම් කෑදර ලෙස බලමින් කීය....
"ඒක තමයි මම ඩිලානිට කිව්වේ...."
"ඩිලානිට ඔයාගෙ අය්යා කොහේද, අන්තිමට නැවතිලා හිටියෙ කියලා මතකද...?" සාමාන්‍ය පෙනුමැති උස තරුණ පිරිමි කෙනා ඇසීය.
"අය්යා කොළඹ නාරහේන්පිටියේ හිටියේ.....දැන් කොහේද දන්නෑ ඉන්නේ.... "
"අපි හොයලා බලමු.....ඩිලානි කැමති නම් අපි ඔයාට ඒ පැත්තෙන්ම රස්සාවක් හොයලා දෙන්නම්....එතකොට ඔයාට අය්යා හොයාගෙන යන්න පුලුවන්නේ...." බඩ මහත එකෙක් කීය.
"ඒක ලොකු දෙයක් සර්...."
"ඩිලානි ගිහින් තව බයිට් ටිකක් ගේන්න... ..තව මොනවද අඩුපාඩු බලන්න ...පාළිකාව මාව නිතර වැරැන්ඩාවේ ඉන්න පිරිමින්ට සංග්‍රහ කරන්නට එළියට යවයි......මම ඒ යන හැම මොහොතකම බඩ මහත පිරිමි දෙන්නා මට අමුතු විහිලු කරයි......මගෙ අතින් බලෙන් අල්ලයි.....ඉනෙන් අල්ලන්න උත්සහ ගනියි......මම කෑම බීම කෙටි මේසය උඩින් තියා විගහට ඔවුන් මග හැර ගෙට දුව එන්නෙමි..... බඩ මහත පුද්ගලන් දෙදෙනාට වඩා උස සාමාන්‍ය පෙනුමැති පුද්ගලයා ඊට ටිකක් වෙනස් බව මට පෙනේ...ඔහු මොවුන් යටතේ වැඩ කරන කෙනෙක් බවද, මොවුන්ට වඩා වයසින් අඩු කෙනෙකු බවත් පෙනේ.....ඔහු මට අනවශ්‍ය විහිලු නොකරයි.
රෑවෙන්න රෑවෙන්න ඔවුන් බීගෙන දොඩවන, විහිලු කරන, සිංදු කියන, කෑ ගසන හඬ වැඩි වි ඇත.... රෑවෙන්න රෑවෙන්න මට කුමුදිනී අක්කා හා මා ගැනත් බය හිතේ.....
"අනේ කුමුදිනී අක්කේ....මැඩම් මේ මිනිස්සු ගෙන්න ගෙන නටන්න හදන්නේ නම් හොද දෙයක් නෙමේ කියලා මට හිතෙන්නේ .....අපට රස්සා හොයලා දෙන්න කියලා මේ මිනිස්සු ගෙන්න ගෙන තියෙන්නේ වෙන දේකට කියලයි මට හිතෙන්නේ.......අපි දැන් මොකද කරන්නේ......"
"අපි කියලා මොනව කරන්නද ඩිලානි ...මැඩම් කියන විදිහකට ඉන්නවා ඇරෙන්න අපට වෙන කරන්න දෙයක් නෑ...."
"ලතා අක්කා මට කියලා තියෙනවා.....මැඩම් මේ විදිහට පිරිමි ගෙන්න ගෙන ඉස්සර බාළිකා නිවාසයේ හිටිය අක්කලා දෙතුන් දෙනෙක්ම අමාරුවෙ දැම්මා කියලා .... මැඩම් ඊට පස්සෙ ඒ ගොල්ලන්ව අහිංසක මිනිස්සුන්ට බන්දලා දීලා.....ඒ කාලේ එක අක්කා කෙනෙක්ට හම්බවුන ළමෙක් තමයි අර අපේ බාලිකා නිවාසෙත්, තාම ඉන්නේ.....අනේ මන්දා අපි මොකද දැන් කරන්නේ...මට හරි බයයි කුමුදිනී අක්කේ...."
"බයයි කියලා අපි මොනව කරන්නද..මොකෝ අපට බාලිකා නිවාසයට ඇරෙන්න වෙන යන්න තැනක් නෑනේ...."
"මැඩම් කිව්වා ගොඩක් රෑ උනොත් අපි දෙන්නට අද රෑට මෙහෙ නවතින්න කියලා ....ආයෙත් මේ රෑ, නිවාසෙ පැත්තෙ නිදාගන්න යන්න ඕනේ නෑ කියලා .... නිවාසේ අනෙක් ළමයි ඇහැරවන්නෙ නැතුව අපට මෙහෙ නිදාගන්න කිව්වේ.....අපට රෑට අදින්න ඇදුම් එයා දෙන්නම් කියලත් කිව්වේ....."
"ඉස්සර මේ බාලිකා නිවාසයේ හිටිය අහිංසක අක්කලා රැවටුනා වගේ අපි මැඩම්ට රැවටෙන්න ඕනේ නෑ කුමුදිනී අක්කේ.......අපි අපට මේ මිනිසුන් කරදර කරන්න ආවොත් අපි පැනලා යමු...."
"මේ රෑ එහෙම කරන්නෙ කොහොමද...? අනේ මට නම් බෑ.....මැඩම් අපිට ආයෙත් නිවාසෙ තියාගන්න එකක් නෑ...එහෙම කරොත් මැඩම් අපිට දස වද දෙයි...."
"ඩිලානි, කුමුදිනී ...කෝ ඔයගොල්ලෝ දෙදෙනා .... දැන් රෑ කෑම ලෑස්ති කරන්න වෙලාව හොදයි .....දැන් ගොඩක් රෑ උන නිසා ඩිංගි අම්මා නිවාසෙට යන්න......ඩිලානියි, කුමුදිනිටයි රෑ කෑම ලෑස්ති කරන්න පුලුවන් නේ..."
පාලිකාව ඉවුම් පිහුම් කල ඩිංගි අම්මා නැවත නිවාසෙට යවන්න හදයි...
"නෑ නෝනා මේ කෙල්ලන්ගෙ තනියට මමත් අද රෑ මෙහෙ නවතින්නම්......"
"ඩිංගි අම්මා මොකටද මේ ගොල්ලන්ට තනි රකින්නේ...... උයලා පිහලා ඉවර නම් නිවාසෙට ගිහින් නිදා ගන්නවා.. .....පාලිකාව ඩිංගි අම්මාට සැර කලාය..... බාලිකා නිවාසයේ මැඩම්ද බියර් එකක් යාළුවො සමග බොනවා මම දුටිමි... . ඇය දැන් බාගෙට වෙරි උන ගානට හැසිරේ..... ඩිංගි අම්මා මැඩම්ගෙ සැර කිරීමට කුස්සිය පැත්තෙන්ම එළියට බැස නිවාසය පැත්තට යන්න ගියාය..... .
"ඩිලානි , කුමුදිනී ගිහින් කෑම මේසේ අඩුපාඩු බලන්න......"
අමුත්තන් කෑම මේසයට වාඩි වි කෑම ගනිමින් ඉදි.....ඔවුන් විසිකි, අරක්කු බී වෙරි වේ හිදින බව කතාවෙන් පෙනේ..... පාලිකාව ද ඔවුන් සමග හරි හරියට කතා කරමින් කෑම ගනියි....
කෑම කා ඉවර වුන ඔවුන් නැවත වැරැන්ඩාවේ වාඩිවී හෙමිහිට රහසින් කතා කරන හඬ ඇසේ........ කුමුදිනී අක්කාත් මමත් කෑම මේසය අස්කර පිඟන් කෝප්ප සෝදා කුස්සිය අස් කෙරුවෙමු.....ඉන් පසු මම හෙමිහිට සාළයට ගොස් දොර රෙද්ද අතරින් මැඩම්ලා කතා කරන දෙයට කන් දුන්නෙමි.
"අපි දන්නෙ නෑනේ ඩේසිගේ නිවාසේ මෙච්චර ලස්සන ළමයි ඉන්නවා කියලා ....මෙච්චර දවසක් කොහේද අර සුද්දි හැංගිලා හිටියේ...."
"ඔව් එයාගෙ කොන්වන්ට් එකේ භාර කාරයෝ එයා මෙහාට ගෙනත් දාපු දවසේ ඉදන් පස්සෙන්ම හිටියා.....නිතර කෝල් කලා......මේ ළඟදි ඉදන් තමයි එයා ගැන හොයලා බලන එක නැවැත්තුවේ...."
"මෙයා නම් අපේ බීච් හොටෙල් එකේ වැඩේට නියමයි....අපිට අනිද්දා ආපහු යනකොට එක්ක යන්න බැරි වෙයිද...?
"මම කිව්වා, එයාගෙ අය්යා, නංගි මල්ලි, ඔයගොල්ලෝ හොයලා දෙයි කියලා ....රෑට අහල බලන්න කොළඹ යන්න එනවද කියලා .... මගෙන් නම් ප්‍රශ්නයක් නෑ....හැබැයි මගේ ගාන සැරයි....චෙක් එකක් වත් දීලා එක්ක යන්න...." මැඩම් සිනාවෙයි..
"ශා....නියම කෙල්ල....ඩේසි එයාට මේ ඩ්‍රින්ක්ස් ටිකක් බොන්න දෙන්න....එතකොට අපට කරදරයක් නෑ.....නිදහසේ කතා බස් කරන්න පුලුවන් වෙයි.....බඩ තඩි එක මිනිහෙක් මැඩම්ට කියන දේවල් මම දොර රෙද්දට මුවා වෙලා අහන් ඉදිද්දි මගේ ඇඟ වෙව්ලන්න ගත්තේ බයෙන් වගේම කේන්තියෙනි.....
"ඩිලානි ඔයා මොකද කරන්නේ ඔය දොර රෙද්දට මුවා වෙලා....?
ඇයි මේ.....? ඩිලානි ඔයා හොදටම බය වෙලා....බය වෙන්න එපා ඩිලානි ..... ඒගොල්ලෝ ලඟ හොදට සල්ලි තියෙනවා....අපි කරදර නොකර හොදට හිටියොත් ඒගොල්ලෝත් අපට හොදට සලකනවා .....මම නම් උදේට ඒගොල්ලෝ දෙන සල්ලි එකතු කරලා, මගේ බැංකු පොතේ දාගන්නවා....ඔයත් එහෙම කරන්න ...."
"මට නම් කාගෙන්වත් සල්ලි ඕන නෑ....මම හිතුවේ මේගොල්ලෝ මට ඇත්තටම රස්සාවක් හොයලා දෙයි කියලා ....ඒ උනාට මේ මිනිස්සු කතා කරපු දේවල් මට ඇහුනා..... මට නම් මේ මිනිස්සු ගැන හොදටම සැකයි...."
"හා...හා...ඔයා, මෙහෙට එනකම් ඒගොල්ලෝ ගැන දැනගෙන හිටියෙ නැද්ද....?"
කුමුදිනී අක්කා මේ නිවසේ වෙන සියලු දේ දැනගෙන මෙහි ආ බවක් මම වැටහුනේ දැනුයි..... ඇය මැඩම්ගෙ උවමනාවට මාවත් මෙතනට චාටුවෙන් අඬ ගහගෙන, ගෙනාපු ගානයි.
"මට ලතා අක්කා ටිකක් කියලා තිබුනා...."
"අපෝ ලතා අක්කා අපිත් එක්ක ඉරිසියයි....මැඩම් ඉස්සරම, එයාවනේ මෙහෙ වැඩට එක්ක ඇවිත් තියෙන්නේ..... දැන් එයාව ගෙන්න ගන්නෙ නැතුව නිවාසේ ලොකු ගෑනු ළමයි වැඩට ගෙන්න ගන්නවා කියලා එයාට ඉරිසියයි ...."
"ආ...මොනවද මේ දෙන්නා කුස්සියට වෙලා කතා කර කර ඉන්නේ....? එන්න වැරැන්ඩාවට....ගිහින් අර සර්ලා එක්ක ටිකක් කතා කරන්න .....ආ....ඔය දෙන්නට මේ කොකා කෝලා වීදුරු දෙක....දැන් මහන්සිත් ඇතිනේ කුස්සියේ වැඩ කරලා මේක බොන්න..."
"මට එපා මැඩම් ...."මම ඇය දුන් කොකා කෝලා වීදුරුව අතට නොගෙන පැත්තකට විය.
"ඒ මොකද...බොන්න බොන්න විකාර නැතුව ...මේක බිව්වහම ඇඟේ තියෙන අමාරු ඔක්කොම යනවා...."
පාලිකාව මගේ අතේ බලෙන්ම කොකා කෝලා විදුරුවක් අතේ තිබ්බාය .
"ආ....කුමුදිනී නම් මේවා බොන්න ආසයි....ඔයා ඩිලානිට පේන්නත් එක්ක මේක බොන්නකෝ කුමුදිනී ...."
කුමුදිනී කිසි කතාබහක් නැතුව ඒ වීදුරුව අතට ගෙන උගුරෙන් උගුරට බොන්න පටන් ගත්තේ ලඟ තිබුන පුටුවක වාඩි වෙන ගමන්‍ය....පාලිකාව නැවත සාලය පැත්තට කළබලේ ගියාය....
"මේ මොනවද කුමුදිනී ....මට මේක බොන්න බයයි...."
"විකාර නැතුව ඕක බොන්න...මැඩම්ව කේන්ති නොගස්වා....ඔයාට කිසි කරදරයක් අමාරුවක් නැතුව අද රෑට නිදාගන්න පුලුවන් ඕක බිව්වහම...."
"මට එපා ඕවා....මට ලතා අක්කා ඔක්කොම කියලා තියෙනවා මේ ගෙදර වෙන ඒවා ..."
" ඕක නොබිව්වොත් ඔයාව මැඩම් ගහලා මරයි....මට පළවෙනි දවසේ එහෙම කලා....යාන්තම් මම වාසනාවකට බේරුනා .....කුමුදිනී මැඩම් දුන්, අතේ තියෙන වීදුරුවේ ඇති දේ බිව් පසු ඇගේ ඇස් දෙක භාගෙට පියවෙනවා මෙන් පෙනේ....ඇය ඇස් දෙක පියවගෙන කතා කරයි....මගේ පපුව ගැහෙන්න ගත්තාය....ඇඟ වෙව්ලයි....මම අතේ තිබුන වීදුරුව එතන තිබුන මේසය උඩම තබා වැරැන්ඩාව පැත්ත නැවත බැලීය.....
ඒ විගස කුස්සියේ ඉදන්, එළියට යන තැන ඇති දොර රෙද්ද ඈත් කරගෙන මැඩම්ගෙ යාළු, උස ටිකක් හොද පෙනුමැති තරුණ පිරිමි කෙනා කුස්සියට ආවේය....ඔහු කලබළයේ මට කතා කලේය...
"ඔය ළමයා මේ ගෙදර වෙන දේවල් නොදැනද මෙතනට ආවේ....?මේ අනෙක් ළමයා වගේ නෙමේ ඔය ළමයා, වැදගත් පාටයි....තාම පොඩියි.....අමාරුවේ නොවැටි ......තවත් මෙතන නොඉද එළියට බැහැලා යනවා....දුවනවා...."
"අනේ සර් මම බාලිකා නිවාසෙට ගියොත් මැඩම් මාව ආයෙත් අඬ ගහගෙන එයි....නැත්නම් මට දඬුවම් කරයි...."
"ආ...මේ සල්ලි ටික අතේ තියාගෙන පාරට දුවලා කොහොම හරි පොලීසියකට යනවා....මෙතන වෙන දේවල් ගිහින් කියලා, මේකේ ඉන්න අනෙක් අසරණ ළමයි ටිකත් බෙර ගන්නවා....වැඩි වෙලාවක් නෑ ළමයෝ ඉක්මනට මෙතනින් පැනලා දුවනවා ....නිකන් නාස්ති වෙන්නෙ නැතුව ...."
"මට බයයි සර්..."
"බය පැත්තකින් තියලා කොහේ හරි ගිහින් අද මේ උගුලෙන් බේරෙනවා....නැත්නම් ඔය ළමයට කොළඹ නයිට් ක්ලබ් එකක තමයි ඉස්සරහ කාලේ ඉන්න වෙන්නේ.....මෝඩ නොවි කොහේ හරි යනවා ළමයෝ.....පාරට දුවලා බස් එකක පොලීසියකට යනවා.....ඒ පිරිමි කෙනා මට සැර කලේය.
මම නැවත කුස්සිය පැත්ත බලන විට කුමුදිනී අක්කා කුස්සියේ මේසේට ඔළුව ගහගෙන ඉන්නවා පෙනින..... ඒ සැනින් මම කුස්සිය පැත්තෙන්, ගෙයින් එළියට බැස පසු පස නොබලා දුවන්න
පටන් ගත්තෙමි ....
-හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *




Comments