♨️අයිරීන් ඩිලානි ♨️ නොසැලෙන දියණි (27 වන කොටස)
- Prisila Godahewa

- Jul 13, 2021
- 5 min read
බාලිකා නිවාසයේ පදිංචියට ආපසු...., මට යන්න ලැබුනු බදුල්ලේ අලුත් පාසැල ගැන, මම සිටියේ සතුටිනි.....මම නිවාසයේ වැඩකටයුතු වලට උදව් කරනා ගමන්, පුලුවන් උපරිමයෙන් පාසැල් වැඩ, කටයුතුද හොදින් කරගෙන යන්නට උත්සහ ගන්නෙමි ..... නිවසයේ බාළ දරුවන්ට ඉස්කෝලෙන් පස්සේ, මම ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්න දැන් උදව්ද කරන්නෙමි. ඒ හැම අවස්තාවකම මට රෝසි හා ජූඩ් සිහිපත් වේ....
"ළමායි... හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් ..... අපේ මේ බාලිකා නිවාසයෙන්, කරන විවිධ ප්‍රසංගයට ළමයින් දැන්ම තියා ලෑස්ති වෙන්න ඕනේ.... පාසැල් ගිහින් ඇවිත් හවස් වරුවේ හැමෝම ඒවට පුරුදු පුහුණු වෙන්න යන්න .......ලඟ ඉස්කෝලෙක ටීචර්ස්ලා දෙන්නෙක්, ඔයගොල්ලන්ට නැටුම් ගැයුම් උගන්වන්න එනවා....ළමයි උනන්දුවෙන් එයට සහභාගි වෙන්න.....ඩිලානි ඔයා හවස් වරුවට මේ පොඩි නංගිලා මල්ලිලාට ඉංග්‍රීසි සිංදුවක් කියලා දෙන්න ,විවිධ ප්‍රසංගය දවසට කියන්න ....ඒ වගේම සිංදු , නැටුම් උගන්නන්න එන ගුරුවරුන්ටත් ඔයා උදව් කරන්න ..... ඔයත් එදාට අනෙක් ළමයි එක්ක ඉංග්‍රීසි සිංදුවක් කියන්න දැන්ම තියා ඉගෙන ගන්න....
"හොදයි මැඩම් මම හරි ආසයි සිංදු කියන්න.. ..."
"එහෙනම් ඔයා එදාට තනියෙන් කියන්න සිංදුවක් පුරුදු වෙන්න..."
"මම එදාට ඉංග්‍රීසි සිංදුවක් කියන්නම්.....මම කොන්වන්ට් එකේ ඉන්න කාලේත් එහේ විවිද ප්‍රසංග වලට සිංදු කිව්වා....."
"දැන් ඔයාගෙ ඉස්කෝලේ වැඩ කටයුතු කොහොමද ඩිලානි ..."
"හොදින් කරගෙන යනවා මැඩම් ....ගනන් පාඩම් වලට තමයි මම ටිකක් දුර්වල....."
"අර ළග ඉස්කෝල දෙකක ගුරුවරු එනවනේ ලොකු ළමයින්ට අමතර පාඩම් වැඩ උගන්නන්න, ඒවාට ඩිලානිත් සහභාගි වෙන්න....."
"මැඩම් නිවාසෙ ළමයින්ව විනෝද චාරිකාවක් එක්ක යනවා කිව්වා නේද.....ඒක කවද්ද යන්නේ.....මම හරි ආසයි විනෝද ගමන් යන්න..."
"මේ නිවාසෙ ඉන්න හැම ළමෙක්ම ආසයි විනෝද ගමන් යන්න ...ඒ විතරක් නෙමේ නිවාසෙ වැඩ කරන "ලතා" කඩපලට ගියත් මේ ළමයි කඩේ යන්න පොර කනවා....නිවාසෙ ඇතුලෙම ඉන්න නිසා කම්මැලි කමට ......"
"මාත් එහෙමයි මැඩම් ...."
"ඒ උනාට මීට ඉස්සෙල්ලා මේ නිවාසෙ ලොකු ළමයි දෙන්නෙක් ලතා එක්ක කඩපොලට යනකොට කඩපොලේ කොල්ලෝ දෙන්නෙක් එක්ක යාළු වෙලා පැනලා ගියානේ......ඊට පස්සෙ අපි ලොකු ගෑනු ළමයි මාකට් එකට එක්ක යන්න දෙන්නෙ නෑ......ඇයි....තව වත්තෙ වැඩට ආව කොල්ලෙක් එක්කත් තව ළමෙක් පැනලා ගියානේ.....හරි වයසට ආපුවහම මේ නිවාසෙ ළමයින්ව අපි කසාද බන්දලා දෙනවා.....එතකම් ඉන්න බැරුව මේ ළමයි ඇටෙන් පොත්තෙන් එන්න ඉස්සර, ඉස්කෝලේ යන ගමන් පාරේ කොල්ලොත් එක්ක පැනලා යන ගෑනු ළමයි මේකේ ඉන්නේ......දෙමව්පියන් ගේ ගතිගුණ ආරේ තමයි ඒ ළමයින්ටත් ගිහින් තියෙන්නේ ....මේ බාලිකා නිවාසේ ගොඩක් ඉන්නවා, ගෑනු අය , අනාචාරේ ගිහින් අනවශ්‍ය ගැබ්ගැනීම් නිසා ඉපදුන ළමයි ....ඒ ළමයි පාරවල් වල දාලා ගිහින් පස්සේ මේ නිවාසෙට පොලීසියෙන්, ගෙනාත් භාර දුන්න ළමයි ....එහෙමත් නැත්නම් දෙමව්පියන්ගෙ වැරදි නිසා අතරමං උන ළමයි.....ඒ නිසා තමයි අපි මේ ළමයි මේ තරම් පරිස්සම් කරන්නේ....."
"ඔව් මැඩම් මට ලතා අක්කා මෙහෙ විස්තර කිව්වා....මට සිස්ටර් මේරි කෝල් කරන හැම් දවසකම කියන්නෙත් හොද ළමෙක් වෙන්න කියලා ...."
"ඔව්...ඔව්...මීගමුවේ ඔයා හිටිය කොන්වන්ට් එකේ ලොකු මැඩම්, ඉදහිට මට කතා කරලා ඔයාගෙ විස්තර අහනවා....පෙළක් වෙලාවට මට කරදරයක් ඒගොල්ලෝ ඔයාව ඕනෑවට වඩා පරිස්සම් කරන්න කියන එක...."
"ඒගොල්ලෝ හැමෝම මට ආදරෙයි මැඩම් ..."
බාලිකා නිවාසයේ ප්‍රධාන පාලිකාව මා සමග බොහෝම හොදින් කතා බහ කරත්, මෙහි සිටින අනෙක් දැරියන්ට ඇය ඉතා නරක ලෙස සැළකිම මගේ හිත කණස්සල්ලට පත් කර ඇත.... මීගමු හොස්ටල් එකේ සිටි මේට්ට්‍රන්ට වඩා ඇය දරුණු කෙනෙක් බව මම මේ නිවාසේ පදිංචියට ඇවිත් ගෙවි ගිය මේ කාලයට තේරුම් ගෙන ඇත. .....මීගමු කොන්වන්ට් එකේ සිස්ටර් මේරි, නිතර දුරකතන ඇමතුම් දී මගේ දුක සැප ඇසීමත් ඇයගේ කේන්තියට හේතුවි ඇති බව ලතා අක්කා මා සමග දිනක් කීය. නමුත් ඒ නිසා ඇය අනෙක් ළමයින්ට සලකන ආකාරයට නොසලකා, මට ටිකක් හොදින් කතාබස් කර සලකන බවක්, මම තේරුම් ගෙන සිටිමි.
ඇය පොඩි දරුවන් පොඩි වැරැද්දක් කලත් දරුවන්ට කුණුහරුපෙන් කතා කරයි....අත දිග ඇරලා. හයියෙන් ගහයි , බනියි....පොඩි ළමයින්ට හරියට කන්න දෙන්නෙත් නැති ගානයි......සමිති සංවිධාන වලින් ලැබෙන වැඩිපුර කෑම බීම ඇදුම් පැලදුම් පවා ඇය, නැවති සිටින , බාලිකා නිවාසෙ වත්තෙ ඇති ඇගේ ගෙදරට ගෙනිහින් දායි....හාල් සීනි කිරිපිටි ඇය ඇගේ නවාතැනේ ගොඩ ගසා තියාගෙන, ඇගේ නෑදෑයින් ආවිට බෙදාහරින්න බව කවුරුත් දන්න රහසකි. නිතර ඇගේ නෑදෑයෝ ,යාලුවො ඇගේ ගෙදරට පැමින පාටි දමා රෑ එලිවෙනකම් මත්පැන් සාද පවත්වන බව නිවාසෙ හැමෝම දනී...ඒවාට නිවාසේ ලොකු ළමයින්ද සහාභාගි වන්නට යයි.....ඒ අක්කලා බොහෝ දෙනෙක්, ඒවාට කැමැත්තෙන් වගේම මැඩම්ට බයේ යන බවත්, ඔවුන්ට මැඩම් ඒ වෙනුවෙන් ඇදුම් පැලදුම් සල්ලි වලින්ද උදව් කරන බව ලතා අක්කා කීවාය .....ඒ වගේම මැඩම්, නිතරම මෙහි නැවති සිටින දරුවන්ට මට,....අපි හැමෝම අම්මා තාත්තා නැති අවසානාවන්ත දරුවන් බවත් මතක් කර දෙන්නටද අමතක නොකරයි ......මට නම් ඒ වෙලාවට ඇති වන්නේ ලොකු දුකකී ....
මේ බාලිකා නිවාසය ඇතුලට, මැඩම් හොයාගෙන පිට මිනිස්සුන් නිතර යනවා එනවා අපට පෙනේ.....ඔවුන් මේ පළාතේ විවිධ ලොකු තානාන්තර වල අය බව මැඩම් කියයි.....ඒ අය ආ වෙලාවට මැඩම් ඔවුන්ව ඇගේ ගෙදරට එක්කගෙනද යයි...ඒ වෙලාවට ලොකු අක්කලා දෙතුන් දෙනෙක්ව ඔවුන්ට සලකන්න කියා ඒ ගෙදරට එක්කගෙනද යයි.... පාලිකාවගේ අනුදැනුම මත මෙහි හැම දෙයක්ම සිදුවන බව අපි දනිමු....නිවාසෙ ඇතුළෙ දැරියන්ට ආරක්ෂාව හරි අඩුවෙන් ඇතිබව මට දැන් දැන් දැනේ.....සමහර වෙලාවට මැඩම් හම්බවෙන්න එන මිනිසුන් අපේ නිවාසේ, ශාලා පැත්තෙද ගැවසේ.... බාගෙට ඇරලා තියෙන, කාමර ජනෙල් වලින් මිනිස්සුන් ඒ ඇතුළට එබෙන්නේද කිසිම ගානක් නැතුවමය....මැඩම් ඒ අයට ඒ වෙලාවට මුකුත් නොකියයි. .....
දරුවන්ට මේ සිදුවන අනාරක්ෂිත අක්‍රමිකතා ,පාලිකාවගෙ අනුදැනුම මත සිදුවන බව මෙහි සිටින සුළු සේවකයින් හා දැරියන්ද දනී.... අහිංසක දරුවන්ට මානසික හිංසනය විශාල වශයෙන් පාලිකාව අතින් සිදුවේ...... නමුත් මැඩම්ට විරුද්ධ කිසි කෙනෙක් කට නොඅරී....සුළු සේවකයින් ඔවුන්ගේ රැකියා නැතිවේයැයි බියෙන් හිදී....
**කාලය වේගයෙන් ගලා යයි....**
### බාලිකා නිවාසයට අයිරින් පදිංචියට විත් අවුරුදු හතරකට පසු###
කාලය වේගයෙන් ගලා ගොස් මම දැන් අවුරුදු දහහත සම්පූර්ණ කල යොවුන් දැරියක්ව හිදිමි..... මෙම බාලිකා නිවාසයේ ගත කල අවුරුදු හතරක කාලය තුල මම මගේ ආපොස සාමාන්‍ය පෙළ සාමාන්‍ය ලෙස සමත්වී උසස් පෙළද ලියා හමාර කලෙමි.....
මේ දිනවල මම මට බාල බාලිකා නිවාසයේ නංගිලා බලා ගනිමින් කුස්සියේ ඩිංගි අම්මාට හා ලතා අක්කලාට කුස්සියේ වැඩ වලට උදව් කරමින් හිදින්නෙමි .
මම මෙහි පැමිණ ගෙවුනු පහුගිය අවුරුදු හතරක කාලය දෙස බැලීමේදි ....මේ නිවාසය තුල, පාලිකාවගෙ අනුදැනුම මත සිදුවන සියලු අක්‍රමිකතා, හොර රහස් දැනගෙන, මගේ ආරක්ශාව මමම සලස්වගෙන කාලය ගත කරමින් ඉදින්නෙමි. ...එයට මට කුස්සියේ වැඩ කරන ලතා අක්කාගෙ උදව්ද නිතතින්ම ලැබේ....ඇගේ අවවාද අනුව මම දැන් වැඩ කරන්නෙමි.
"නංගිගෙ උසස් පෙළ විභාගෙ ප්‍රතිඵල ආවහම මොකද දැන් කරන්න හිතාගෙන ඉන්නේ...."
"මම විශ්වවිද්‍යාලයට යන්න ආසයි....ඒත් ලකුණු මදි වෙයි කියලා බයේ ඉන්නේ අක්කේ.....ඒත් ඉතිං විශ්වවිද්‍යාලයට තේරුනත් ඒවට යන්න ගොඩක් වියදම් එහෙමත් යනවනේ...."
"අපේ මැඩම් නම් බලාගෙන ඉන්නේ මේකේ ළමයින්ට අවුරුදු දහ අට සම්පූර්ණ උන ගමන් කාට හරි කසාද බන්දලා දීලා මෙතනින් පිට කරන්න.....රස්සාවල් හොයලා දෙන්න නම් මැඩම්ට ලොකු උවමනාවක් නෑ....හොයලා දුන්නත් ඉතිං ඔය ගාමන්ට් වල, හෝටල් වල රස්සා තමයි ...."
"මටත් ඒක හිතුනා....ලතා අක්කේ අද ඔයා මාකට් එකට යනකොට මාවත් එක්ක යන්නකෝ.....අක්කට මතකද අර වංගුවෙ ගෙදර ඇන්ට් කිව්වා ඒගොල්ලන්ගෙ දුව වැඩ කරන තේ කර්මාන්ත ශාලාවේ ඔෆිස් එකේ රස්සාවක් තියෙනවා කියලා ....ඒ ඇන්ටිට කියලා එයාගෙ දුවට මගේ රස්සා ඉල්ලුම් පත්‍රයක් දෙන්න ඕනේ අක්කේ.... මගේ උසස් පෙළ විභාගෙ ප්‍රතිඵල ආපු ගමන් මට, රස්සාවක් හම්බුනොත් හොදයි ...."
"ඩිලානි නංගි.... ඕවා මැඩම් දැනගත්තොත් මටත් බනී....හැබැයි ඉල්ලුම් පත්‍රයක් දීලා තිබුනොත් නම් හොදයි තමයි .... ඔයා හැම තිස්සෙම අපේ මැඩම්ගෙන් බේරිලා පරිස්සමට ඉන්න...ඔයා දන්නවානේ.....අර තුශාරි ,සුභානි හා නාලිකාව නිතරම මැඩම්ගෙ යාලුවො එයාගෙ ගෙදර ආපු දවසට ඒ ගෙදර එක්ක ගිහින් වැඩ ගන්නවා කියලා ....ඒ ළමයින්ට සමහර දවසට මැඩම්, රෑට බොන්නත් දෙනවලු....සමහර දවස් වලට ඒගොල්ලෝ ආපහු නිවාසෙට එවන්නේ, එළිවෙන යාමේ.....ඒ ළමයින්ට පොඩි ගානක් අතමිට මොලවලා මැඩම් එවනවා....මේ මෝඩ කෙල්ලො දෙන්නට ඒවා හරි ලොකුයි.....මැඩම්ගෙ උගුල් වලට ඒ ළමයි අහුවෙලා,..... මොකද ඉතිං මැඩම් ,කොන්ඩ මල්, සෙරෙප්පු ,ක්‍යුටෙක්ස් ලස්සන යට ඇදුම් එහෙම ගෙනත් දෙනවනේ ඒ ළමයි තුන් දෙනාට....ඒවට රැවටිලා තමයි , මැඩම් යාලුවන්ට සලකන්න කතා කරපු ගමන් හැඩ වැඩ වෙලා උඩ දාගෙන යන්නේ...ඒ ළමයින්ගෙ කැමැත්තෙන්මයි දැන් යන්නේ.... ඉස්සර නම් අකමැත්තෙන් ගියේ.....ඒත් අකමැති උනොත් මැඩම්ගෙ දඩුවම් ගැනත් ඒ ළමයි දන්නවා....ඒ නිසා වැඩියම මැඩම්ට බයට ඔය ළමයි ඒ ගෙදර වැඩට යන්නේ.... කියලා වැඩක් නෑ මෙහෙ වෙන වැඩ......"
"ඇයි අක්කේ මැඩම්ගෙ යාලුවන්ට උදව් කරන්න නොගියොත් මැඩම් මොනවද ඒගොල්ලන්ට කරන්නේ. ...."
" මැඩම් කරන්නෙ..ඒගොල්ලන්ව බලෙන්ම කාමර වලට දාලා හොදටම ගහනවා....පුදුම දස වද දෙන්නේ...."
"ඉතිං එහෙනම් ඇයි අක්කා මේවා දැනගෙන මෙතන ඉන්නේ....?
"මම දැන් වයසයිනේ....මම ලස්සනත් නෑනේ...ඒ නිසා මැඩම් මට දැන් ඉස්සර වගේ ඔය වැඩට අඬගහන්නෙ නෑ....ලස්සන අහිංසක ළමයිව තමයි එයාගෙ ගෙදර පාර්ටි වලට එක්ක යන්නේ...."
"අනේ අක්කේ මැඩම් මටත් එයාගෙ ගෙදර පාර්ටි වලට යන්න අඬ ගහයිද...?
"ඔයා තාම බේරිලා ඉන්නේ අර කොන්වන්ට් එකේ සිස්ටර් නිතර ඔයාට කතා කරන නිසා...."
"මට බයයි අක්කේ...."
"බය වෙලා බෑ නංගි...මේ නිවාසෙ ඉන්න අනෙක් ළමයින්වත් බේරගෙන ඔයත් බේරිලා ඉන්න තමයි පුරුදු වෙන්න ඔනේ...."
"ඉතිං ඇයි අක්කා මේවා ඔක්කොම දැනගෙන පොලීසියට නොකියා ඉන්නේ...."
"කොහොමද මම පොලීසියට කියන්නේ...අපේ මැඩම් පොලීසියේ ලොක්කන්වත් ගෙදරට අඬ ගහලා පාර්ටි දානකොට ....එයා ඒ හැමෝම යාළු කරගෙන ඉන්නේ..."
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *




Comments