♨️අයිරීන්(ඩිලානි)♨️ නොසැලෙන දියණි (26 වන කොටස )
- Prisila Godahewa

- Jul 13, 2021
- 4 min read
බදුල්ලේ බාලිකා නිවාසයේ පදිංචියට විත් දැන් මාස ගානක් ගෙවි ගොස් ඇත......මම දැන් මෙහි සිටින අනෙක් දරුවන් සමග එකතුවි හොදින් එකමුතුව වැඩ කටයුතු කර ගෙන යන්නෙමි....
සතියේ දිනවලට අනෙක් දරුවන් සමග බාලිකා නිවාසයේ සිට ඇවිදගෙන බදුල්ලේ රජයේ පාසැලට යන ගමන, මම ආසම කරන දෙයක් වේ..... අවුරුදු දහයේ ඉදන් අවුරුදු හතරක්ම කොන්වන්ට් එකෙ නේවාසිකාගාරයට කොටු වී සිටි මට, ඒ කාලයේ අවට ලෝකය දකින්න ලැබුනේ හරි අඩුවෙනි.....එබැවින් බාලිකා නිවාසයට නවතින්න ආපසු, ඒ කිට්ටුව තිබුන රජයේ පාසැලට උදේ හවස පාර දිගේ ඇවිදගෙන යන එන එක, අවට පරිසරය දකින්න ලැබීම, ගමේ මිනිසුන් දකින්න ලැබීම , යාන වාහන, කඩ සාප්පු, ආදිය දකින්න ලැබීම ගැන මම සිටියේ ලොකු සතුටකිනි...... බාලිකා නිවාසෙ ළමුන් ඒ ලග තිබෙන රජයේ පාසැලට යන්නේ පෝලිමට දෙන්නා දෙන්නා අතින් අල්ලාගෙන ඇවිදගෙනය.... ඒ ඇවිදගෙන යන විට අවට පාර දෙපස, යාන වාහන දෙස බලමින් අපි හැමෝම යන්නෙ හරි සතුටින්...
"මේ සුමානෙ ලතා අක්කා එක්ක මාකට් එකට බඩු ගන්න යන්නේ අපි දෙන්නා....එන සුමානේ ඔය දෙන්නට යන්න පුලුවන් ..."
ඉදහිට කුස්සියේ ලතා අක්කා එක්ක බදුල්ලේ කඩපිලට ,මාකට් එකට කුස්සියේ බඩු ගේන්න යන්න ලැබෙන එකද අපි ආස කල දේවල් අතර වේ.....
"අනේ ලතා අක්කේ හෙට මාකට් එකට යනකොට මාවත් එක්ක යන්නකෝ......මම හරි ආසයි මාර්කට් එකේ පොලේ ඇවිද ඇවිද බඩු බලන්න, ගන්න යන්න ...."
"අපෝ ලොකු මැඩම් කියලා තියෙන්නේ ලොකු ළමයින්ව මාරුවෙන් මාරුවට තමයි බඩුමුට්ටු ගන්න කඩේට එක්ක යන්න කියලා .....එකම ළමයි එක්ක යන්න තහනම්... ..
වැඩි කාලයක් නොයාම කුස්සියේ වැඩ කරන "ලතා" අක්කා එක්ක මට හොදින්ම මිත්‍ර වෙන්න ලැබුනි. මම මගේ විස්තර ඇය සමග කියනවා වගේම, ඇගේ විස්තරද නිතර කතා කර දැන ගත්තෙමි.
" අක්කා දන්නවනේ මම කොන්වන්ට් එකට ගිය ගමනේ ඉදන් මේ බාලිකා නිවාසයට එනකම් උන දේවල්......ඉතිං ලතා අක්කත් කියන්නකෝ අක්කා කොහොමද මෙහෙට ආවේ කියලා ....."
"ඩිලානි නංගිට කියන්න.....මාත් පුංච් කාලේ හොද සැපට කිසි දේකින් අඩුපාඩු වක් නැතුව හිටිය කෙනෙක් තමයි.....අපේ අම්මා මැරුනට පස්සෙ තාත්තා එක්ක ආපු කුඩම්මා නිසා තමයි මටත් ළමා නිවාසෙකට යන්න උනේ..."
"ඒ කිව්වෙ ලතා අක්කේ. ...?
"කුඩම්මා අපේ ගෙදර ආවට පස්සේ මගෙන් වැඩ කාරියකගෙන් වගේ වැඩ ගත්තා...පොඩ්ඩ බැරි වෙනකොට මට හරියට ගහන්න පටන් ගත්තා...අපේ තාත්තා කුඩම්මට බයයි....ඒ නිසා එයාට මම වෙනුවෙන් මොනවත් කරන්න බැරි උනා....බැරිම තැන දවසක් මම ගෙදරින් පැනලා ගියා......මම අඬ අඬා පාරේ ඇවිදගෙන යනකොට වාහනේක ආව නෝනා කෙනෙක් වාහනය නවත්තලා ඇයි අඩන්නේ කියලා අහලා .....මාව ඒ වාහනේම පොලිස්සියට එක්ක ගියා...පොලිසියෙන් අපේ තාත්තවයි කුඩම්මවයි ගෙන්නලා හොදටම බැන්නා.....ඊට පස්සෙ මාව ආයෙත් ගෙදර එක්ක යන්න කිව්වා.....මම පොලිසියේ නෝනා කෙනෙක් ලග වැදලා කිව්වා මට නම් ආයේ ගෙදර යන්න බෑ කියලා .....මාව වෙන කොහේ හරි නවත්තන්න කියලත් කිව්වා......අන්තිමේ පොලිසියෙන් මාව ළමා මඩමකට ගිහින් දැම්මා.....එතන තමයි මම දිගටම ලොකු මහත් වෙනකම් හිටියේ.....මම තරුණ කාලෙට ආවහම ළමා මඩමෙන් මාව දුප්පත් මනුස්සයෙක්ට බන්දලා දුන්නා....ඊට පස්සෙ අපි ටික කාලයක් හොදට හිටියා.....මට ගොඩක් කාලයක් ළමයි නැතුව ඉදලා, පස්සෙ ළමෙක් හම්බවෙන්න ඇවිත් ඒ දරුවා මාස හතේදී බඩේදිම නැතිවුනා..... ඊට පස්සෙ මට ළමයි හැදුනෙම නෑනේ.... ඒ මනුස්සයා ඊට පස්සෙ ටික ටික මට වෙනස් කම් කරන්න පටන් ගත්තා... එයා වෙන ගෑනු පස්සෙ යනවා කියලා මට ආරංචි උනා....ඊටත් වැඩිය හම්බ කරන තුට්ටු දෙක අරක්කු බොන්නත් ඉවර කරනවා.....මම ඊට පස්සෙ තමයි ඒ ගෙදර ඉන්න බැරුව මේ බාලිකා නිවාසේ වැඩට ආවේ.....මට මෙහෙ හොදයි නංගි........මට ඩිලානි නංගි ගැනත් දුකයි.....මට වගේම නංගිටත් කුඩම්මා ආවට පස්සෙ තමයි නේද මේ ඔක්කොම කරදර උනේ....."
"ඒ කාලේ අපේ තාත්තා ජුලියා ඇන්ටිව කසාද බැදලා හිටියෙ නෑ ලතා අක්කේ.......ඩැඩි අපට පේන්න වෙනස්කමක් කලෙත් නෑ....පස්සෙ තමයි දැන ගත්තේ, මගේ නංගියි මල්ලිවයි ජූලියා ඇන්ට් මඩමක නවත්වපු බව..... එයාගෙ උවමනාවට තමයි හැම දේම සිද්ද වෙලා තියෙන්නේ....පස්සෙ ජුලියා ආන්ටි අපේ ඩැඩිව කසාද බැන්දලු.....ළමයි හතර දෙනාවම අතන මෙතන නවත්තලා..... ඩැඩි අපිව මග ඇරලා ඉදලා තියෙන්නේ ජුලියා හින්දා කියලා දවසක් ලොකු මමී කිව්වා....
"ඔහොම තමයි නංගි.....තරුණ ගෑනු ගෙවල් වල වැඩට ගෙන්න ගත්තහම, ගෙදර ඉන්න මෝඩ මිනිස්සු රවට්ටගෙන , හොදට තියෙන පවුල් උන් කඩලා දාලා උන්ගෙ ආසාවන් ඉශ්ට කරගන්වා.....මෝඩ මිනිස්සු ඒවට අහු වෙනවා....".
"මම මෙච්චර දවසක් කාටවත් කිව්වෙ නෑ අක්කේ, මට ගොඩක් දුක හින්දා......මම මෙහෙට එන්න ඉස්සර, දවසක් මදර් සුපීරියර් මට කතා කරලා කිව්වා.....අපි හැමෝම ගෙදර නැති උනාට පස්සේ, අපේ ඩැඩි ලෙඩ වෙලා මාස ගානක් මානසික රෝහලකත් ඉදලා....ඒ වගේම අසනීප වෙලා තියෙන්නේ ....හොදටම බීලා වැඩිවෙලා .......ඊට පස්සෙ එහෙදි ඩැඩි අන්ත්‍රා වෙලා....., ජුලියා එයාගෙ කසාද නෝනා හැටියට මිනිය භාරගෙන, මල්ශාලාවක එක දවසක් පමනක් තියල මළගමේ වැඩ ඉවර කරලා දාලා....ලොකු මදර්ට පස්සෙ ආරංචි වෙලා තියෙන්නේ .....පව්....ඩැඩි ඉස්සර අපට ආදරෙන් හිටියා....ජූලියා නිසා තමයි එයා වෙනස් උනේ....මමීගෙ මරණය උනාට පස්සේ එයා හරියට බොන්න පටන් ගෙන තිබුනලු....ඒ නිසා තමයි එයා ලෙඩ වෙලා ඉස්පිරිතාලෙත් ඉදලා තියෙන්නේ .... ඒ හින්දා වෙන්න ඇති ඩැඩි මාව බලන්න ආවෙ නැත්තේ කියලා මට පස්සෙ තේරුනා... ...ඩැඩි නිසා තමයි අපේ මමිත් වේලාසන නැති උනේ.....මගේ රෝසි නංගියි ජූඩ් මල්ලිවයි, ජූලියාට ඕන විදිහට මඩම් වලට දාන්න ඩැඩි උදව් කරන්න ඇතිනේ.....අපේ මුළු පවුලම සීසී කඩ යන්න වැඩ කරේ ඩැඩිනේ.....ඒ නිසා එයාගෙ මළගමට යන්න උනේ නෑ කියලා මට දැන් දුක නෑ ලතා අක්කේ... ..."
"ඔව් ඩිලානි නංගි ....එහෙම තමයි අපටත් ඔයා ගැන විස්තර ආරංචි උනා....එදා ආපු සිස්ටර් අපේ මැඩම්ට ඒ හැම දෙයක්ම කියලා ....ඔයාට දුක හිතෙයි කියලා මම මෙච්චර දවසක් ඔයාට කිව්වෙ නෑ........"
"හැම දෙයක්ම සිද්ද වෙන්නේ දෙවියන් වහන්සෙට ඕන විදිහට අක්කේ...."
"ඔව් නංගි ඔයාහොදට ඉගෙන ගෙන හොද දරුවෙක් වෙන්න ....මට හරි දුකයි ඔයා ගැන..."
බාලිකා නිවාසේ වැඩකරන සුළු සේවිකයින් නිවාසෙ ලොකු දරුවන් සමග බොහොම එක මුතුය... ඔවුන් දරුවන් සමග නොයෙක් දේ කතා කරයි...උපදෙස් දෙයි... ...සමාජ සේවා ආයතන වලින් ,පිනට ලැබෙන ඇදුම් වලින් හොදම ඇදුම් ඒ අය ලොකු ලමයින්ට වේලාසන අරන් තියා, හොරෙන් දෙයි.....කෑම බීම උනත්, ලොකු ළමයින් හා සුලු සේවිකාවන්ගෙ උවමනව පරිදි පොඩි දරුවන්ට ලැබේ.....
බාලිකා නිවාසයේ පදිංචියට විත් වැඩි කාලයක් නොගොසින්ම, මට මේ බාලිකා නිවාසේ පාලිකාව, හිතු තරම්ම කාරුනික කෙනෙක් නොවන බව තේරුම් ගියාය......ඇය පොඩ්ඩ ඇත්නම් පොඩි දරුවන්ට තදින් ගහයි......කොන්ඩෙන් අදියි......ඔලුවට මූනට ගහයි.....ඒ නිසා පාලිකාව මඩමට එන වෙලාවට දරුවන් බොහෝ බයෙන් ඉන්නා බව පෙනේ...ඇයට ළමයෙක් වැරද්දක් කර අතට අසු උනොත් , අතට අහුවෙන ඒවායින් දරුවන්ට දමා ගසයි.....එබැවින් අනෙක් දරුවන් වගේම මමත් ඇය දකින විට බයෙන් සිටින්නෙමි. මේ බාලිකා නිවාසයේ සිටින දරුවන් නිතර බයෙන්, සැකෙන්, දුකෙන් ඉන්නා බව ඔවුන්ගේ මුහුණු වලින්ම පෙනේ......ඔවුන් කොයිවෙලෙත් සිටින්නේ හිනාවෙන්න අමතක උන ගානටය.
"හොද වෙලාවට ඩිලානි නංගි ගැන අහන්න බලන්න ,කොන්වන්ට් එකේ සිස්ටර් ඉන්න නිසා......නංගි අපේ මැඩම් ගෙන් බේරිලා ඉන්නේ....නැත්නම් මෙලහකට ඔයාවත් එයාගෙ ගෙදර වැඩ ගන්න එක්ක ගිහිල්ලා....එහෙම නැත්නම් පොඩ්ඩ බැරි වෙනකොට ගුටිබැට ලැබිලා....."
මේ බාලිකා නිවාසයේ සිදුවුන සියලු හොර රහස් දන්නා ලතා අක්කා මට රහසින් කියයි..... මගේ හිත එවිට බයෙන් ගැහේ.....බාලිකා නිවාසයේ හොර රහස් සියල්ල දන්නා සුළු සේවකයින්, ඇයගේ රහස් හංගා ගෙන සිටින්නේ....මේ පළාතේ සියලු ඉහළ විශේෂ නිළතල දරන පුද්ගලයින් නිවාස පාළිකාවගේ යහලුවන් හෝ මුදලට යටවී සිටින පුද්ගලයින් බව දන්නා නිසායැයි "ලතා" අක්කා කියයි.......
-හෙට හමුවෙමු.-
*ප්‍රිසිලා ගොඩහේවා*




Comments