♨️අයිරීන් ඩිලානි♨️ නොසැලෙන දියණි (24 වෙනි කොටස )
- Prisila Godahewa

- Jul 13, 2021
- 6 min read
" මේ බාලිකා නිවාසයේ විස්තර "සිස්ටත්" දැනගන්න කැමති ඇතිනේ......"
"ඔව් අයිරින් වෙනුවෙන් මමත් ඒවා දැන ගන්න කැමතියි ...."
"මේ නිවාසයේ සිටින වයස අවුරුදු 5 ට වැඩි සියලු දරුවන් මේ ළඟ තියෙන, බදුල්ලේ රජයේ පාසැලට යොමුකරලා අපි ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙනවා...."
"දෙමව්පියන් කාත් කවුරුත් නැති දරුවන්ට ඒක ලොකු දෙයක්....ඒ වගේම නිදහස් අධ්‍යාපනය ලැබීම මේ රටේ සියලු දරුවන්ගෙ අයිතිවාසිකමක් නේ.. ...."
"ඔව් ඒ වගේම මෙම දරුවන්ට මෙම මධ්‍යස්ථානයේදීම දිනපතා සවස 2 පසු විවිධ පාසැල් විශයන් සදහා අමතර පන්තිද පවත්වනවා..... දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු තවත් ඉහළට නංවාලීමට ..... . ඒ වෙනුවෙන් අවට රජයේ පාසල්වල ගුරු භවතුන් ස්වේච්ඡාවෙන් නොමිලේම දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරනවා..... ඒ ගුරුවරු එහෙම ඉදිරිපත් වෙලා තියෙන එකත් ලොකු දෙයක්නේ ..."
"එතකොට මැඩම් මේ ළමා නිවාසයේ වියදම් එහෙම , කොහොමද පිරිමහ ගන්නේ......"
"මෙම ළමා නිවාස වලට විදෙස් සමාජ සේවා ආයතන වලින් මුල්‍යාධාර ලබා දීම සිදුවෙනවා....ඒ වගේම මෙරට ස්වේච්ඡා සංවිධාන එකමුතුව තමයි ළමා නිවාසය පවත්වාගෙන යන්නෙත්..."
"ලොකු පිනක් ඒ ආයතන වලින් කරන්නේ...."
" අනාථ,අසරණ, දෙමව්පියන් අත්හල දරුවන්ට ....අපොස උසස් පෙළ දක්වා ඉගෙනීමට කටයුතු කරගෙන යෑමට...., පාසැල් අධ්‍යාපනය හොදින් කරගෙන යාමට මෙම නිවාසය මගින් නොමිලේ පහසුකම් සලසා දී තිබෙනවා...."
"එතකොට මේ ළමයින්ට, පාසැලේ අපොස උසස් පෙල කිරිමෙන් පසු මොකද වෙන්නෙ..?
"මෙම නිවාසවල වයස 18 සම්පූර්ණ කරන දරුවන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම සඳහාද අපි අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරනවා....ඒ යටතේ නායකත්ව පුහුණු වැඩසටහන්,රසවින්දන වැඩසටහන්,ළමා කඳවුරු, ක්‍රීඩා තරඟ, වගේම දරුවන්ගේ වෘත්තීය කුසලතා වැඩිදියුවට අදාල අත්කම් නිර්මාණ, පින්තාරු ක්‍රම , මැහුම්, බෑග් හා පාවහන් මැසීම යන කර්මාන්තවල පුහුණුවීම් ලබාදීලා ඒ දරුවන්ගෙ අද්‍යාපනය සුදුසුකම් වැඩි දියුනු වීම් කරවනවා..."
" ලොකු දෙයක් මේ ආයතන වලින් කෙරෙනවා, ....අයිරින් මේ මැඩම් කියපු දේවල් ඔයා හොදින් අහගෙන හිටියනේ......දැන් ඔයාට ඔයාගෙ අනාගතය ගැන බය වෙන්න දෙයක් නෑ නේද ...? ඒ වගේම ඔයාට ඕන වෙලාවක මට කෝල් එකක් දීලා කතා කරන්නත් පුලුවන්.... .. ඔයාගෙ අනාගතේ වැරදෙන්නෙ නෑ අයිරින් .....ඔයා හොද ළමෙක් වගේ ඉස්සරහ කාලෙ මහන්සි වෙලා හොදට ඉගෙන ගන්න...."
"හොදයි සිස්ටර් ..."
" එහෙනම් මම යන්නම් අයිරීන්....මම ආයෙත් දවසක ඔයාව බලලා යන්න එන්නම්......"
"හොදයි සිස්ටර් ....ගොඩක් ස්තුතියි මං වෙනුවෙන් මෙච්චර කාලයක් සිස්ටර් කරපු උදව් වලට....."
"ඒ ගැන වැඩිය හිතන්න එපා....ඒ හැම දෙයක්ම දෙවියන් වහන්සේගෙ කැමැත්තට අනුව, අපි ඔයා වෙනුවට කළ දේවල් ....ඔයාට ජේසු පිහිටයි !....අයිරින් ..... මෙන්න මේක මදර් සුපීරියර් ඔයාට දෙන්න කිව්වා.... ඔයාගෙ ඩැඩි ඔයාට ගෙනත් දීපූ රත්තරං මාලය.... ඔයා පරිස්සමට මේක ඔයා ලඟ තියාගන්න ....මේ "මේට්ට්‍රන්" ඉස්සරහම මම මේක ඔයාට දෙන්නේ මේ මාලේ ගැන මේට්ට්‍රන් උනත් දැනගන්නත් ඕන නිසයි .....මේක පරිස්සමට මෙපමණ දවසක් මදර් සුපීරියර් ගාවනේ තිබුනේ....අපේ ලයිබ්‍රෙරි එකේ ජිනාදරි මිස් තමයි මේක ඔයාට ආපහු දෙන්න කියලා මට තෙතුන් පාරක්ම මතක් කරලා කිව්වේ... ....ඒ පාර මම ඊයෙ රෑ මදර් සුපීරියර්ගෙන් මේක ඉල්ලලා තියාගත්තා ඔයාට දෙන්න....ජිනාදරි මිස් ඔයාට හරි ආදරෙයි.......ඇයි තව ඉන්දු මිස්, ලක්මිණි මිස් , සිස්ටර් සුනේත්‍රා , සිස්ටර් සුදර්මා , ඒගොල්ලෝ ඔක්කොම ඔයා වෙනුවෙන් දුක් වෙන අය..... ඇයි ෆදර් ඉශාන් උනත් නිතර ඔයා ගැන හොයා බලනවා......අනේ මදර් බද්ද්‍ර ....හැමදාම ඔයා වෙනුවෙන් ප්‍රේ කරනවා, ඔයාගෙ අනාගතය වාසනාවන්ත වෙන්න කියලා ..... ඇයි පාස්ටර් "මානෙල්" ....අය්යෝ එයා දවස ගානේ ඔයාගෙ විස්තර අහනවා මගෙන් ඔයාට මොකද ඉස්සරහ කාලේ වෙන්නෙ කියලා ....සිස්ටර් සන්දයා නම් ඉතිං ඔයාව මතක් කර කර හැමදාම අඬනවා....ඔයා ගැන එයාට හරි දුකයි...... ඔයාගෙ අනාගතේ වාසනාවන්ත වෙන්න කියලා ඒ හැමෝම ඔයාට ආශිර්වාද කරගෙන, බලාගෙන ඉන්නේ ඔයාට හොද කලක් යනකම්..... ඔයා මෙහෙ හොදින් ඉන්න අයිරින් ....එහෙනම් මැඩම් .... මේ ඩිලානිව හොදින් බලාගන්න.....ඕන වෙලාවක හදිස්සියක් උනොත් අපට කතා කරන්න ...."
"ඔව් සිස්ටර් එහෙමයි ......මෙහෙ ඉන්න හැම දරුවෙක්ටම අපි හොදින් ඉගැන්විමේ කටයුතු කර ගන්න ඉඩ දීලා බලා ගන්නවා...."
"අපි එහෙනම් හවස් වෙන්න ඉස්සර මීගමු යන්නම්..."
"සිස්ටර් දවල්ට කෑම ලෑස්ති කරල තියෙන්නේ.....කෑම ටිකක් කාලම යන්න... .නැත්නම් හවස් වෙයිනේ මීගමුවට යන කොට....එහෙනම් ඩිලානිත් ඔයාට නියමිත් ශාලාවට යන්න..."
බාලිකා නිවාසේ පාළිකාව සිස්ටර් සමග කතා කරන ගමන්, ඇගේ කාර්‍යාල කාමරයේ මේසය උඩ තිබුන පුංච් සීනුව නාද කලාය.....
එවිට මගේ වයසම පෙනුමැති ගැහැනු ළමයෙක් කාමරය තුලට ඇතුල් විය.
"තුශාරි....මේ ඩිලානි අපේ නිවාසෙට අලුතින් ආවේ මීගමුවේ කොන්වන්ට් එකක ඉදන්.. ..අපි එයාව හොදට බලාගන්න ඕනේ...ඒ නිසා මෙයාව ඔයා ඉන්න අවුරුදු 12/16 ලමයි ඉන්න ශාලාවට එක්කගෙන ගිහින්.... නිදාගන්න ඇදක් එහෙම ලෑස්ති කරලා දෙන්න....
නිවාසේ පාලිකාව තුශාරි නම් මගේ වයසම දැරියකට මාව අදුන්වා දී ,මට නවතින්න නියමිත කාමරයට එක්ක යන්න කීය.
"හොදයි මැඩම්...ඇය මා දෙස කරුණාවෙන් බැලිය.
"එහෙනම් ඩිලානි ,මේ තුශාරි එක්ක ඔයා යන්න ඔයාගෙ කාමරයට .... ඔයාගෙ බෑග් ඇරගෙනම යන්න ....."
"හොදයි මැඩම්..."
"එහෙනම් සිස්ටර් දැන් හොදටම දවල් උනානේ අපි යමු කෑම ටිකක් කන්න......"
"එන්න ඩිලානි අපි කාමරයට යමු....."
තුශාරි මගේ ඇදුම් බෑගයත් උස්සාගෙන මට ඉස්සර විය. මම මගේ පාසැල් බෑගයත් කරේ දමාගෙන ඇය පසුපස ගියෙමි.... .ඇය මාව පැරණි
බංගලාවේ පිටුපස දොරින් මැද මිදුල පැත්තට කැදවාගෙන ගියාය. මැද මිදුල අයිනේ ඇති කොරිඩෝ එක දිගේ ඇවිදගෙන ගිය ඇය මාව ලමුන් දහයක් පමන සිටින ශාලාවක් තුලට එක්ක ගොස්, ඇදක් අද්දර නතර විය.
ඒ කාමරය තුල තව තනි ඇදන්.....උඩ යට ඇදන් ඇත. ඒ ශාලාව තුල තව මගේ වයසම හා මට වඩා වැඩිමහල් යැයි සිතිය හැකි ගැහැනු දරුවන් දහදෙනෙක් පමණ සිටියාය..... ඔවුන්ගෙ මුහුනේ හිනා පොදක් නැත. ඔවුන් පුදුම වී මාදෙස බලා හිදී...... ඔවුන් ඉතා අහිංසක දුප්පත් පවුල් වල දරුවන් වව බැලු බැල්මට පෙනේ.....
"ඩිලානි මේ ඇද ඔයාට.....ඔයාගෙ ඇදුම් මේ කබඩ් එකෙන් තියන්න... තව ටිකකින් අපට දවල් කෑමට යන්න බෙල් එක ගහනවා ,එතකොට කෑම කන්න යන්න එන්න....."
"තුශාරි ....ඔයා ඉන්නෙත් මේ කාමරේද...? එතකොට ලොකු අක්කලා කොහේද ඉන්නේ.....?
" ඔව් මම ඉන්නේ අර ඇදේ.....ඔයාට ඕන වෙලාවක මට කතා කරන්න..... අවුරුදු 17/18 ලොකු අක්කලා ඉන්නේ අර කොනේ කාමරේ....ඒගොල්ලන්ට නම් අපේ මැඩම් හරි ආදරෙන් සලකනවා ....පුංචි ළමයින්ට තමයි මැඩම් සැර...."
"මැඩම් සැරද...?
"ටික දවසක් යනකොට ඔයාට තේරෙයි...."
එම ශාලාව තුල සිටි මගෙ පෙනුමට වඩා වෙනස් බොහෝ අහිංසක පාට, දුප්පත් පෙනුමැති ළමයින් මාදෙස හොරෙන් බලති.....
මගේ ඇදුම් බෑගය මට නියමිත කබඩය ලගින් තියා මම ටික වේලාවක් මට නියමිත ඇඳ උඩ වාඩි වි උන්නෙමි......
නිවාසයේ පරණ ළමයින්ට මා විශේෂ දරුවෙක් ලෙස පෙනෙන ගානය. ඔවුන් එකා දෙන්නා ශාලාවේ දොර ජනේල වලින් එබී මා දෙස බලන්නේ පුදුමයෙන් වගෙයි. කවුරුත් මා සමග සිනා නොවෙයි.
මගේ ඇදුම් මගෙ ඇඳ ලඟ තිබුන කබඩයට දමා ,මම මගේ පොත් කබඩයය උඩින් තියා ඉවර වෙනවත් සමගම, පරණ අපේ හොස්ටල් එකේ වගේම, සීනූවක් නාද වෙන්නට විය....ඒ සමගම ශාලාවේ සිටි ළමුන් කළබලේ , හිටි තැන්වලින් නික්මි ශාලාවෙන් එළියට යන්නට පටන් ගත්තෝය.
"ඩිලානි ඔයාට ලොකු මැඩම් කතා කරනවා...ඔෆ්ස් එකට යන්න...."
"හා මම යන්නම්......
මම ශාලාවෙන් නික්ම නිවාසයේ ඉදිරිපසට යන විට සිස්ටර් මේරි නැවත මීගමු යන්න ලෑස්ති වී බලා හිදියි.... ඇයද ලොකු මැඩම් සමග දවල් ආහාරය ගෙන අහවරවි ඇත.
"මම යන්න කියලා අයිරින් .. ...එහෙනම් හොද ළමෙක් විදිහට මෙහෙ ඉන්න...උවමනාවක් උනොත් මට කතා කරන්න ...හොදට ඉගෙන ගන්න ...ඔයාට ජේසු පිහිටයි ..!."
"හොදයි සිස්ටර් ..."
ඇය මගේ ඔළුවට අත තියා මට යාච්ඥා කලාය.
ඇය මීගමු යන්න වාහනයට නගින්න යනවිට මම ඇය පසු පස ගොස් ඇයට සමුදුන්නේ දුකෙනි....
"ඩිලානි....එන්න අපි යමු කෑම කන්න..."
මාව කාමරයට එක්ක ගිය තුශාරි මා ලගට විත් අඩ ගැසුවේය.... ඇය අනෙක් ළමයින්ට වඩා කතා බහට කැමති ලැජ්ජා ශීලි ගති අඩු දැරියක් බව පෙනේ.....
"අද ටවුමේ කුකුල් මස් කඩේ මුදලාලිගෙ ගෙදරින් දවල් කෑම අපට.. ...ඒ නිසා අද දවල් කෑම රසට හොදට තියෙයි...."
"ඒ කිව්වේ තුශාරි ...."
"මේ බාලිකා නිවාසෙට, මේ පලාතේ ගොඩක් අය, උදේ දවල් රෑ කෑම එහෙම ගෙනත් දෙනවා...ඒගොල්ලන්ගෙ ගෙවල් වල මළගිය අයට, දරුවන්ගෙ උපන් දින වලට එහෙම අපට කන්න දීලා පින් දෙන්න එහෙම කරන්නේ.. ..."
"එහෙමද....මම ඒක දැනගෙන හිටියෙ නෑ....."
"එන්න අපි යමු ..."
තුශාරි මගේ අතින් අල්ලාගෙන කෑම ශාලාව පැත්තට යන්න , අනෙක් ළමයින් පසු පස පේලියට වැටි, ගමන් කලාය .....විශාල කෑම ශාලාව පැත්තට අපි යන විට ඒ තුලින් හොද කෑම සුවඳවල් නිකුත් වෙමින් තිබුනි. ඒ තුල තිබුන කොට බංකු වල අපි වාඩි උන පසු, ශාලාවේ කෑම බෙදන තැන එක් රොක්වි සිටි ඉතා ජැන්ඩි පහට ඇදගත් ගැහැනු, පිරිමි තරුණ ළමයි අපට කෑම පිඟන් පිළිගන්වාගෙන ගියේය. ඉන් පසු ඔවුන් අපට හොදි මාළු වෙන වෙනම ගෙනත් පිඟන් වලට බෙදන්න පටන් ගත්තේය.
"ඩිලානි කන්න...මගෙ ලග හිටි තුශාරි කීවේය .
"අද කෑම හරි රසයි...කහබත් එක්ක කුකුල් මසුත් තියෙනවා....." සරලා කීය.
තුශාරි හා අනෙක් දරුවන් අතින් කෑම හොදට අනාගෙන කන්න පටන් ගත්තේය.
ගෙදරදි, හොස්ටල් එකේදි හැදි ගෑරෑප්පු වලින් කෑම කාපු මම, අනෙක් ළමයින් මෙන් අතින් අනාගෙන.... ප්ලාස්ටික් පිගන් වලට බෙදා දුන් කෑම කන්නට පටන් ගත්තේය.
අනේ මගෙ හිතට දැනුන දුකක්...මම ඉපදුනෙ කොහේද... හිටියේ කොහේද ..කොහොම කෑව බිව්ව කෙනෙක් ද අද මට මොනවද මේ වෙලා තියෙන්නේ...? මට මම ගැනම ඇති උන දුකට, ඇස් කදුළු වලින් පිරෙන්න පටන් ගත්තේය.
බාළිකා නිවාසයේ වැඩිහිටි අක්කලා තුන් හතර දෙනෙක් , කුස්සියේ වැඩ කරන ඇන්ටිලා සමග එකට එකතු වී දරුවන්ට කෑම බෙදන වැඩ වලට උදව් කරනවා පෙනේ....
ජැන්ඩි පහට ඇදගත් කෑම ගෙනාපු කට්ටියද, අපට නැවත හොදි මාළු ගෙනත් බෙදන්න අහයි....
බත් කටවල් තුන හතරක් අමාරුවෙන් කෑව මට උගුරෙන් පල්ලෙහාට කෑම නොයා හිරවෙන්න ගතියක් දැනුනි..... මගෙ හිතට දැනුන දුක කියාගන්නට බැරි වි හිත යටින් මම අඩන්නට විමි....
"ඇයි ඩිලානි ...බත් කන්න...අර ගොල්ලන්ට තව බත් ටිකක් ඔයාට බෙදන්න කියන්නද..."
තුශාරි මා ගැන හොයා බලයි....
" නෑ එපා තුශාරි ..මට අද බඩගිනි නෑ...."
"එහෙනම් බත් කාලා ඉවර උනාම, අයිස්ක්‍රීම් බෙදන කොට ඒවා අරගෙන කන්න..."
ලස්සනට ඇද පැලද ගෙන කෑම බෙදා දෙන්නට ඇවිත් සිටි කට්ටිය දැක මට දුකක් වගේම ලැජ්ජාවක් ඇති වි ඇත. ඔවුන් අපෙන් අස අසා තව කෑම බෙදන්න හදයි....
බත් කෑවට පසු අයිස්ක්‍රීම් ,කේක් ඇපල් ආදියද අපට බෙදා දුන්නේය. කෑම කා ඉවර උන පසු ළමුන් සියලු දෙනා එකට එකතු වි....ඒ ඇවිත් හිටි අයට ස්තූති කලෝය.
"ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි අපට රස කෑම වේලක් ලබා දුන්නට..."
මමත් අනෙක් ළමයින් මෙන් ඔවුන්ට ස්තුති කලෙමි.
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා*






Comments