top of page

♨️අයිරින් ඩිලානි ♨️

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jul 22, 2021
  • 5 min read

නොසැලෙන දියණි

(64 වෙනි කොටස )

අපේ විවාහය වෙනුවෙන් ,නිශ්ශංක අංකල්ලාගෙ බංගලාවේ, රාත්‍රීයට පැවැත්වෙන උත්සවයට සහභාගි වීමට , නිශ්ශංක අංකල්ගෙ යහළුවන් හා ඒ අවට තේ වතු හිමියන් මේ වන විට අලුත් පන්නයේ වටිනා වාහන වලින් බංගලාව බලා පැමිනෙමින් හිදියි.....විවිධ මෝස්තර ඇදුම් ඇදගත් ගැහැනු , ටයි කෝට් දමාගත් පිරිමි , ඉංග්‍රීසි පමණක් කතා කරනා ඔවුන්ගේ කතා විලාශයන්, මෝස්තර දිහා බලමින් මම , ඩිල්ශාන් ලඟම රැඳි උන්නෙමි.... ඩිල්ශාන් අද රෝද පුටුවෙ වාඩිනොවි , අපි දෙදෙනා වෙනුවෙන්ම අලුත් රෝස මල් වලින් සරසා තිබු කවිච්චියේ වාඩිවි මගෙ අතින් අල්ලාගෙන හිදින්නේ බොහෝ සතුටින් බව පෙනේ....


මම උදේ ඇඳන් හිටි සුදු පැහැති සාරිය මාරු කර, තද රතු පාට අලුත්ම මෝස්තරේ දිග ගවුමක් ඇඳ, රැළි සහිත තඹ පැහැ කොන්ඩය කඩා දමා, ඔළුවට මලක් ගසාගෙන සිටිමි. මගේ මුහුණට මේකප් දමා කොන්ඩය සැරසුවේ මට අද උදේ ඇඳුම් ඇන්දු ගැහැනු ළමයා විසිනි....මේ සියලු දේ ලෑස්ති කර තිබුනේ ලිලානී ආන්ටි විසිනි....අම්මා තාත්තා නැති මට, ඇය සළකන විදිහ ගැන ,මට ඇය ගැන ඇත්තේ , පුදුමයක් මිශ්‍ර ලොකු පැහැදීමකි..... ඩිල්ශාන් නිල් පාට කෝට් සූට් එකක් ඇද, ටයි පටියක්ද දමා, ඉතා කඩවසම් ඔහු මා ලඟින්ම, කවිච්චියේ වාඩි වි හිදියි.....උත්සවයට සහභාගි වූවන් සියල්ලන්ටම, අද සිංහල අමතක වු ගානය.... කළු සුද්දන් තොගයක්, මගේ මගුලට සහභාගි වි ඇත.


"ඉතිං කොහොමද ඩිල්ශාන් ...තාම ඔයාට සනිප මදිද...?


"ඕ...නිශ්ශංකගේ අක්කගෙ පුතා අපි අදමනේ දැක්කේ....හරිම හැන්ඩ්සම් බොයි....."


"ඔව්...ඇයි එයාගෙ මණමාලිත් අදමයි මම නම් දැක්කේ....ඒ උනාට එයා වත්තේ ඔෆිස් එකේ නේද වැඩ කරනවා කිව්වේ.....


"එයා නම් මේ ලංකාවේ කෙනෙක් කියන්න බෑ....සුද්දියක් වගෙ...."


"ඔයාගෙ ගෙවල් කොහේද...ඩිලානි ?


"ඔයාගෙ අම්මලා තාත්තලා කෝ...ඇයි පේන්න නැත්තේ.....කෝ ඔයාගෙ සහෝදරයෝ...."


උත්සවයට සහභාගි වූවන්ගේ දහසකුත් එකක් ප්‍රශ්න වලට උත්තර දී මට දැන් ඇතිවුන ගානය.....


"ඩිල්ශාන් මට නම් දැන් හරි මහන්සියි...මේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට උත්තර දීලම මට ඇති වෙලා තියෙන්නේ ...."


"හා...හා...ගනන් ගන්න එපා....තව ටිකකින් අපි ඩිනර් ඇරගෙන කාමරයට යමු....මේ පාටිය එක දෙක වෙනකම් යයි...පේන්නෙ නැද්ද කට්ටිය විස්කි බ්‍රැන්ඩි බිබි නටන හැටි...ගෑනු මිනිස්සු දැන් වෙනස් වෙලා වගේ...."


"ඩිලානි...ඩිල්ශාන් අර බලන්න ......

අර...අර එන කෙනා, ඔය දෙන්නා අඳුනනවද බලන්න ...."?


රාත්‍රී අටත් පහු උනාට පසු අලුත්ම වටිනා වාහනයකින්, රියදුරෙකු සමග පැමිණි කෙනා දැක මට ඇති වුනේ පුදුමයකී....ඉතා වටිනා ඇදුම් ඇද සිටින ඔහු ඉතා පෝසත් , වැදගත් කෙනෙකු බව බැලු බැල්මට පෙනේ....ඊටත් වැඩිය, මට ඔහු දුටු වහා ඇති උනේ පුදුමයකී....ඒ ඔහුනේ....ඔහු කොහොමද නිශ්ශංක අංකල්ගෙ යාළුවෙක් උනේ....අනේ මම ඔහුව තව එක සැරයක් දකින්න, කතා කරන්න කොපමණ නම් බලාගෙන හිටියද...? අද වගේ දවසක ඔහුව මට මුණ ගැසීම හරිම පුදුම සහගතයි..... ඔව්...ඒ නම් ඔහුම තමයි .....එදා රෑ බදුල්ලේ බාලිකා නිවාසයේදී මට හමුවුන කාරුණික පිරිමි කෙනා......ඔව් එයා තමයි මේ ඇවිත් ඉන්නේ......බාලිකා නිවාසයෙන් මට පැන යන්නට අණ දුන් උස කාරුණික පුද්දගලයා මගේ විවාහ උත්සවය සඳහා පැමිනියේ කෙසේද? ....ඔහු ඩිල්ශාන් අඳුනන කෙනෙක්ද.....?දෙවියනේ ඔහු මෙතන....මෙයා කාගෙ යාළුවෙක්ද...? උත්සවය පටන් ගත් පසු ,ගෙට ඇතුල් උන ඔහු දිහා, සාදයේ සැවෝම ඇයි මේ අමුතු ලෙස ඔහු දිහා බලා හිදින්නේ....?


" මේ මිස්ට ටෙරන්ස් ජෑන්ස්... මේ පැත්තේ ඉන්න ඔයගොල්ලෝ හැමෝම වගේ මෙයාව අඳුනනවනේ.....?මම වැඩිය අඳුනලා දෙන්න අවශ්‍ය නෑනේ ...."


නිශ්ශංක අංකල් ඔහුව හැමෝටම අඳුන්වා දුන්නත්....මේ පළාතේ හැමෝම වගේ, ඔහුව අඳුනන ගානයි.... ඔහු මේ පළාතේ ගොඩක් ප්‍රසිද්ධ ව සිටි කෙනෙක් බව මට පැහැදිලි විය.


නිශ්ශංක අංකල් අප දෙදෙනා ලඟට ඔහුව කැඳවාගෙන ආවේ බොහෝ සතුටින්.....


පුදුමයකී ඔහු එක එල්ලේ ඩිල්ශාන් දෙස අමුතු විදිහකට බලාගෙන පැමිණ, ඩිල්ශාන්ගෙ පුටුව ලඟ දෙකට නැමි ඉතා උනුසුම් ලෙස ඩිල්ශාන්ව බදාගෙන ටික වේලාවක් සිප ගෙන සිටියේ කාළයකට පසු මුණගැසිනු ලඟම මිත්‍රයෙක් ලෙසය......


"ඩිල්ශාන් මේ මිස්ට ටෙරන්ස්...දැනට එහෙම අඳුනගන්න කෝ....පස්සෙ අපි නිදහසේ කතා කරමු. මිස්ට ටෙරන්ස්ට තමයි අපේ මේ තේ වත්ත, පරණ බංගලාව ඔක්කොම ඉස්සර අයිති වෙලා තිබුනේ....ඒකයි මේ පළාතේ හැමෝම මෙයාව අඳුනන්නේ....මේ පළාතේ හිටිය ලොකුම පෝසතා තමයි මෙයා....මෙයා දැන් ඉන්නෙ ඇමරිකාවේ. ....ඉදහිට තමයි ලංකාවට එන්නේ.....ඔයගොල්ලන්ගෙ වෙඩින් එකට එන්න කියලා මම කෝල් එකක් දුන්න ගමන් මේ තකහනියක්ම ලංකාවට ආවේ ඒකයි....."


"හෙල්ලෝ ඩිල්ශාන් ....එතකොට ඔයාගෙ බ්‍රයිඩ්.....මේයාව මම කොහේදි හරි දැකලා තියෙනවානේ....මෙයා ඩිලානි කිව්වා නේද....?ඔයාට මාව මතකද ඩිලානි .....? මට ඔයාව හොදට දැකලා පුරුදුයි....."


ඔහු මම කවුද කියා කල්පනා කරන ගමන්, මගේ කමුල් දෙක ඉතා පරිස්සමට සිප ගත්තේය.


"මම අයිරින් ...බදුල්ලේ බාලිකා නිවාසයේ හිටියේ.....අංකල් තමයි මට දවසක් රෑ එතනින් පැනලා යන්න කිව්වේ....මම අංකල්ව කවදාහරි හම්බවෙනකම් බලාගෙන හිටියේ, මට උදව් කරාට ස්තුති කරන්න ..... මට එතනින් පැනලා යන්න ශක්තිය ලැබුනේ අංකල් නිසයි.. ...අද මට මේ වගේ තැනකට එන්න ලැබුනෙත් අංකල් නිසානේ ....නැත්නම් මම අද කොහේ ඉදියිද දන්නෙ නෑනේ.....අනේ බොහෝම ස්තුතියි එදා මට කල උදව්වට...."


මම වක්කඩ කැඩුවා සේ ඔහුට ස්තුති කරගෙන ගියේ, නොසිතු මොහොතක, මට ඔහු මුණ ගැසුනු සන්තෝශයට.....


"ඔහ්....මට දැන් මතක් උනේ ඔයාව...අර බාලිකා නිවාසේ හිටිය සුද්දිනේ ......ඒ ඔයාමද එතන හිටියේ......? එතකොට ඔයා කොහොමද මෙතනට ආවේ....? ඔයා එදා එතනින් පැනලා ගියාට පස්සෙ, බාලිකා නිවාසෙ ඇතුලේ ලොකු කළබලයක් උනානේ......මම එදා රෑම එතනින් යන්න ගියා......මගේ හොද වෙලාව..... ඊට පස්සෙ, එතන නිවාසෙ හිටිය මැඩම්ට ගොඩක් කරදර උනානේ.....මමත් ඒ නිවාඩුවකට, ලංකාවට ඇවිත් හිටපු දවස් වල, මගේ යාලුවො දෙන්නෙක් ගමනක් යමු කියලා මාව එතනට අඬගහගෙන ගියේ....ඒත් මට එතන වැඩ පිළිවෙළ හිතට ඇල්ලුවේ නෑ....මම එතන වෙන දේවල් පස්සෙ දැන ගත්තේ, ඒකයි ඔයාට එතනින් යන්න කිව්වේ.....කොහොම හරි මම එදා රෑම එතනින් යන්න ගියා, යාලුවො දෙන්නටත් බැනලා.....අන්තිමට ඒ දෙන්නටත් පොලීසි ගානේ යන්න උනා කියලා මට ආරංචි උනා.......ඒත් මට නිශ්ශංක ඔය දෙන්නගෙ වෙඩින් එක ගැන කියන කොට කිව්වා, ඔයත් ඩිල්ශාන් වගේම බදුල්ලේ බාලිකා නිවාසයේ හිටිය ළමෙක් කියලා ....මම හිතුවෙම නෑ ,ඒ ඔයා කියලා .......ම්ම්...මට අද ගොඩක් සතුටුයි ,ඔය දෙන්නා එකතු උනාට....ඒ උනාට ඩිල්ශාන් .. , මේ මෙතන ඉන්න කවුරුත් දන්නෙ නෑ ඔය දෙන්නා ඔය ළමා මඩමක හිටිය කතාව...ඒක වෙන කවුරුත් දැනගන්න ඕනත් නෑ...ඒක නිශ්ශංකලාට හොද නෑනේ....."


"ඔව් අංකල් ....ආන්ටි ලිලානී අපි දෙන්නට ඒක වේලාසන කිව්වා....මෙතන ඉන්න අය දන්නේ ඩිලානිගෙ මමි ඩැඩිලා ආන්ත්‍ර වෙලා කියලා විතරයි..."


"කෝ ලිලානී ...?තවම දැක්කෙත් නෑ...."


"ආන්ට් අද ටිකක් සනීප මදි වගේ...උදේ ඉදන් මූණ හරි නෑ.....අංකල් එක්කත් කතාවක් නෑ, කසාද බැඳපු ගමන් අපි දෙන්නව අංකල්, ඉස් ඉස්සෙල්ලා සිස්ටර්ගෙ කනත්තට එක්ක ගියා කියලා කේන්ති ගිහින් හිටියේ..... ආන්ටි කාමරේ ඇති ,දැන් එළියට එයි අංකල් ....."


"ලිලානී කාමරේ.... අද උදේ ඉදන් එයා මහන්සි උනානේ....දැන් එළියට එයි ටෙරන්ස් ...."


"ම්ම්...එහෙනම් ...මේ තෑග්ග ඔය දෙන්නට මගෙන්..... මම ඉන්න රටට ඔය දෙන්නා ඕන වෙලාවක හොලිඩේ වලට එන්න.... මම මේ මාසෙ අන්තිමට ආයෙත් රට යනවා....."

"හොදයි අංකල් ....තෑන්ක්ස්...."


ටෙරන්ස් අංකල් හිතුවටත් වඩා ගොඩක් හොද කෙනෙක් බව පෙනේ...උත්සවයට සහභාගි වු හැමෝම තමන්ගෙ වයිෆ්ලත් එක්ක ආවත් ඔහු පමනක් තනියෙන් ආවේ ඇයි....?ඒක ඔහුගෙන් කෙලින්ම අහන්න බෑනේ....පස්සෙ නිශ්ශංක අංකල්ගෙන්ම අහනවා.


"ඩිලානි ඔයා දන්නවද....? ටෙරන්ස් කියන්නේ කවුද කියලා ....?


"නෑ අංකල් ....ඒත් එයාගෙ වයිෆ් ආවෙ නැත්තේ ඇයිද කියලා මම බැලුවේ...."


"එයා බැදලා හිටියේ කවුද දන්නවද...?


"කවුද ප්‍රසිද්ධ කෙනෙක්ද...?

"ඔව්, එයත් ප්‍රසිද්ධයි තමයි ....නරක දේවල් අතින්...."


"කවුද අංකල් ඒ...?


"ඒ ඔයා හොදට දන්න කෙනෙක් ...."


"කවුද අංකල් ඒ....?


"ඒ ඔයාගෙ ආන්ට් ජූලීයාව....."


"නෑ....අංකල් කොහොමද ඒක දන්නේ....?


"මේ පුංච් ලංකාවේ කාට මොන දෙයක් උනත්, ඒ වෙන දේවල් , කවදා හරි ආරංචි වෙනවා , ඒ වගේම කාලයකට පෙර වෙන් උන, අඳුනන අය, කොහේදි හරි ආයෙත් මුණ ගැහෙනවා ඩිලානි ...."


" ඒකනම් තෝමස්ලටත් හොද ආරංචියක් වෙයි.... එතකොට දැන් ජූලියා කොහේද...?


" ජූලීයා හොඳ කෙනෙක් නෙමේනේ....ජුලීයා දැන් හිරේලු....එයා හොරකම් දෙක තුනකටම අහුවෙලා..., ඒ මදිවට නයිට් ක්ල්බ්ස් ගානේ යන්න පුරුදු වෙලා, ඩ්‍ර්රග්ස් ඇරන් කාලයක් තිස්සේ.....ඒ අස්සේ රංඩුවකට පැටලැවිලා , කාවද එයා මරලා දාලා..., දැන් එයා හිරේලු ...."


" නෑ....අප්පේ...ඇති යන්තම් ...දැන් අර දිනපතා මම ගැන හොයන කට්ටියට නින්ද යයි...."


"ඒ මොකක්ද කිව්වෙ ඩිලානි ....?


"නෑ මගේ යාලුවො ,හරිම කේන්තියෙන් ඉන්නෙ ජුලියා එක්ක....ඒ වගේම ,අපේ මහගේට මොකද උනේ කියලා ඒගොල්ලෝ හැමදාම අහනවා.... දැන් ඉතිං ඒ ගැනත් හොයා ගන්න ඕනේ....."


" ඒකත් ඔයාට සතුටු දායක ආරංචියක් වෙයි ඩිලානි .....මට ටෙරන්ස් කිව්වේ....ජුලියාට ඒ ගේ ඒ කාලේ විකුනගන්න බැරි වෙලා, එයා ඒක විකුනුවා කියලා ,බොරුවට ප්‍රචාරනය කරලා තියෙන්නේ.....එයා ඒක බද්දට දීලා තියෙන්නේ , මොකද එයාට ඒ ගමේ ඉන්න බැරි නිසා....කොහොමත් ඒ ගේ තනි කැමැත්තට කාටවත් විකුනන්න බැරිලු....අන්තිමේ ඒක භූදල් නඩුවකට ගිහින්....., අයිතිකාරයෝ ගිහින්ලු ඒක බේර ගන්න ඕනෙ.....දැනට කුළියට ඉන්න අයත් ඒකේ කුළිය ගෙවන්නේ ජුලියාගෙ අක්කටලු....."


"ඒක නම් හොදම ආරාංචියක්....තෝමස්ටයි ජුඩ්ටයි වෙන්නප්පුවේ ගිහින් ඒ ගැන හොයලා බලලා , අපේ මහගේ ආයෙත් අපටම ගන්න කියන්න ඕනේ....අද මගේ මේ වෙඩින් එක දවසේ මට ගොඩක් හොද ආරංචියක් හම්බ උනේ....මට හරිම සතුටුයි ...."


"අද උදේ ඉදන් අපි දෙන්නා, එහෙට මෙහෙට ගිහින් හරි මහන්සියි අංකල් , අපි දෙන්නා දැන් රෑම් එකට යන්නද.... ?


"ඔව්, ඩිල්ශාන් ඔය දෙන්නා දැන් කාමරේට යන්න ....දැන් තමයි මේ පාර්ටි එක හරියට පටන් ගත්තේ....අපි නිදාගන්න කොට නම් එළි වෙයි.....හෙට උදේ දහයට විතර අපි හොටෙල් එකට යමු....දවස් දෙක තුනක් ඔය දෙන්නට එහේ නිදහසේ ඉදලා, කොළඹ යන්න පුලුවන් ..."


"එහෙනම් ගුඩ් නයිට් අංකල් ...."


"ගුඩ් නයිට් ....ආන්ටිටත් කියලා යන්න ඩිල්ශාන් ...., නැත්නම් ඔය දෙන්නව හොයයි....අද උදේ ඉදන් ආන්ටි මාත් එක්ක හිත හොද නෑ....හා...හා....එයාගෙ හැටි ඔහොම තමයි ...."


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page