top of page

♨️අයිරින් ඩිලානි ♨️

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jul 22, 2021
  • 6 min read

නොසැලෙන දියණි

(62 වෙනි කොටස )

ඩිල්ශාන් හා මම සිංගප්පූරුවේ සිට පැමිණ මාසයකට පසු, අපේ විවාහ උත්සවය වෙනුවෙන් සැවොම කඩිමුඩියේ ලෑස්ති වන්නට විය.....මේ වනවිට නිශ්ශංක අංකල් හා ලිලානී ආන්ටි නැවත නිව්සීලන්ඩ් බලා ගොස් තිබුනි. ඩිල්ශාන් කොළඹ ගෙදර ඔහුගෙ උපස්ථායකයා සමග නැවති හිදියි. නිතර ව්‍යාපාර කටයුතු සදහා රට රටවලට යන ලිලානී ආන්ටි හා නිශ්ශංක අංකල් අපේ වෙඩිමට දවස් දෙකක් තියා ලංකාවට එන්නට නියමිත බව ඩිල්ශාන් කීය. ඔවුන්ගේ දියනිය වන ලිහිණිට, අපේ විවාහ උත්සවය සදහා පැමිණිමට නොහැකි බව ඇය වේලාසන ඩිල්ශාන්ට දන්වා ඇත .....ඩිල්ශාන්ගෙ අම්මා හා පුංචි අම්මා නුවර සිට නුවරඑළිය දක්වා විවාහ උත්සවය දවසටම එන බව කියා ඇත.


අපේ මංගල්‍යය දිනට ,දවස් දෙකක් තියා, නිශ්ශංක අංකල් හා ලිලානී ආන්ටි, ලංකාවට ඇවිත් සිටියේ අප දෙදෙනා වෙනුවෙන්මය. ඒ වෙනකොටත්, කොළඹ සිට නුවරඑළියේ බංගලාව වෙත ඩිල්ශාන් ද ඇවිත් තිබුනේය. ..... ඩිල්ශාන් ගේ අම්මා නුවර සිට, තව ඇගේ නැගණියක් සමග පැමින සිටියේ තේ වත්තේ වාහනයකය.


මම තෝමස් ,ජුඩ් හා රෝසි සමග, නුවරඑළියේ රණදේව අංකල් ලබා දුන් පැරණි නිවසේ සිට මගේ විවාහය සදහා යන්නට සූදානම් උනේ, බලාපොරොත්තු රැසක් හිතේ තබාගෙන ,බොහෝ සතුටින්.....


අපි විවාහ වන දිනයේ, ලිලානී ආන්ටි උදේ පාන්දර අපේ නිවසට එවා තිබු, මණමාලියන්ට අන්දන කෙනා අතින්, ලස්සන මණාලියකසේ මම ලෑස්ති වෙමින් සිටියේ කියා ගත නොහැකි ප්‍රීතියකින්.......අදින් පසු මටත් ඩිල්ශාන්ටත් එක වහලක් යට දෙන්නා දෙමහල්ලෝ ලෙස ජීවත් වන්නට ලැබෙන සුභ මොහොත තව ටික වේලාවකින් උදා වන්නට නියමිතය.


"ඔයාව නම් මම ලේසියෙන්ම ලස්සන මණමාලියෙක්ට ඇන්දුවා....ඔයා ඉතිං කොහොමත් ලස්සනයි නේ...."


"මම මේ පළවෙනි පාරට සාරියක් ඇන්දේ....ලිලානී ආන්ටි තමයි මගේ ඔක්කොම ඇදුම් ලෑස්ති කරලා දුන්නේ....මට විතරක් නෙමේ මගේ නංගිට රෝසිටත් ඇදුම් ලෑස්ති කලේ එයා...."


"මොනව උනත් ඔයාගෙ හස්බන්ඩ්ගෙ නෑදැයෝ හරිම හොදයි ....ඔයා වෙනුවෙන් ගොඩක් වියදම් කරලා...."


"ඔව් ඇත්තටම ඒගොල්ලෝ හරිම හොද අය...."


"දැන් ඔයගොල්ලෝ, කසාද බදින්නේ කොහේද? වෙඩින් එක ගන්නේ...කොහේද?


"අපි අද උදේට චර්ච් එකේ කසාද බදින්නේ...., ඊට පස්සෙ අපි බදුල්ලේ බාලිකා නිවාසයක ළමයි එක්ක දවල් කෑම ගන්නේ....ඊට පස්සෙ අද රෑට ,නිශ්ශංක අංකල්ලගෙ බංගලාවේ පොඩියට උත්සවයක් ගන්නවා....අපි ඩිල්ශාන්ගේ කකුල සනීප උනාට පස්සෙ නිව්සීලන්ඩ් ගිහින් වෙඩින් එක ලොකුවට, ගන්න හිතාගෙන ඉන්නේ....ලිලානී ඇන්ට් ගෙ, ඩිල්ශාන් ගේ නෑදෑයෝ , යාළුවෝ ඔක්කොම ඉන්නෙ එහෙනේ.... "


"අයිරින් ඔයා ලෑස්තිද ...? චර්ච් එකට යන්න ....අන්න වෙඩින් කාර් එක ඇවිත්...."


ටයි කෝට් දාගෙන තෝමස් හා ජුඩ් මගේ විවාහය සදහා යන්නට සූදානම්ව හිදියි. අද තරම් ලස්සනට, කඩවසම් ලෙස ,මම කවදාවත් ඔවුන්ව මෙලෙස දැක නොතිබුනි. රෝසි, ලා රෝස පාට සාරියකින් සැරසී ඉන්නේ මගේ දෙවන මණමාලිය ලෙසය.... ඇයද අද හරි ලස්සනට ඉදී.....ඇය මගේ වේල් එක උස්සාගෙන යන්න බලා සිටින්නේ පුදුම සතුටකින්....සුදු ලේස් සාරියක් ඇද, ඔළුවට මල් ගසා, දිග සුදු වේලයක් පැලැඳ සිටින මගේම හැඩ ,කන්නාඩියෙන් දැක මට ඇති උනේ කියා ගන්න බැරි තරම් ලොකු සතුටක්.....


"මම ලෑස්තියි තෝමස් අපි යමු ....ඔයගොල්ලෝ හැමෝම අද හරි ලස්සනයි ...."


"ඔයත් අද පුදුම ලස්සයි අයිරින් ...අනේ... මමී ග්‍රැනී අද හිටියනම්, කොච්චර සතුටු වෙයිද ඔයාව දැකලා....කොහේ හිටියත් ඒගොල්ලන්ගෙ ආශිර්වාදය නිසා තමයි ඔයාට ,අපට මේ වගේ තැනකට එන්න ලැබුනේ....ඊටත් වඩා ඔයාගෙ වාසනාව අයිරින් මේ වගේ පවුලකට අපට සම්බන්ධ වෙන්න ලැබුනේ......"


" ඔව්...ඒ වගේම මමී, ග්‍රැනී පාවිච්චි කල මගේ මේ කරේ තියෙන රත්තරං සුරුවම තමයි මට වාසනාව උදාකරලා දුන්නේ....මගේ කරේ මේ මාලේ දාගත්ත දවසේ ඉදන් ,මාව ලොකු අනතුරු, කරදර වලින් මෙයා මාව බේරුවා. මේ සුරුවමේ තියෙන බලයෙන් තමයි මම මෙච්චර කාලයක් පරිස්සමට හිටියේ......

මේ මාලේ මගෙ අතට ගෙනත් දුන්නේ ඩැඩී...අද නම් මට ඩැඩිවත් මතක් වෙනකොට දුකයි....එයා අපට කොච්චර නම් පොඩිකාලේ ආදරෙන් හිටියද....?


"අර ජූලියා නිසා තමයි ,අපට එයාගෙ ආදරේ නැතුව ගියේ .....අර ෆැක්ටෙරියෙ වැඩ කරන ලක්මිණි , ඉන්දු, සුනේත්‍රා ,අනෝමා එහෙම නිතර කියනවා, ජුලියා අපට කරපුවාට එයාව හොයලා දඩුවම් දෙන්න කියලා ...ආවිකා අක්කා කියනවා අපේ මහ ගෙදර කොහොම හරි ආයෙත් හොයා ගන්නලු....එහෙම උනොත් ඉතිං "ඉන්දු" ලෝයර් නෝනා,ඔප්පුව නොමිලේ ලියලා දෙන්නම් කියන්නේ....අනේ මන්දා මේ අය නිසා මට වැඩ වැඩි වෙනවා....හැබැයි බද්‍ර මිස් නම් සාමකාමිව හැම දෙයක්ම විසඳ ගන්න හැටි තමයි, හැම දාම කියලා දෙන්නේ....... 🤣🤣"


"මේ හොද දවසේ ඔය පරණ කතා අමතක කරලා දාන්න තෝමස් ...."

"එහෙනම් අපි යමු තෝමස් ...."


"තෝමස් ඔයා අර ෆැක්ටෙරියෙ වැඩකරන කට්ටියට අපේ මගුල් ගෙදර එන්න කිව්වද....?


"කවුද අර, ඉන්දු ,ලක්මිණි ,සුනේත්‍රා , අනෝමා, ජිනාදරි, එතකොට දීපිකා, ශාන්ති , සන්දයා ,මානෙල්, ආවිකා, දේවිකා, ඒ අයට එහෙමද....?


"ඔව් ඒගොල්ලන්ට තමයි ....අනේ මන්දා මම ගැන බලපු අනෙක් අය තරහ වෙයිද දන්නෙ නෑ මම ඒ අය අමතක කලා කියලා ...."


" කොහොමත් වෙඩිමක් ඉවර උනාම, නෑදෑයෝ යාලුවො එහෙමත්, හිත හොද නැති වෙනවනේ, වෙඩිම කිව්වෙ නෑ කියලා......"


"ඔය ෆැක්ටෙරියේ කට්ටිය.... , ඩිල්ශාන් මාව කසාද බදින්න යන්නෙ කියලා දැනගත්ත දවසේ ඉදන් මගේ මගුලට එන්න, අලුත් සාරිත් ලෑස්ති කරගෙන හිටියේ......."


"මාර යාළුවෝ ටිකක් නේ ඔයාට ඉන්නේ....හැබැයි රණදේව සර් නම් කිව්වේ, ඔයා කසාද බදින දවසට, ඒගොල්ලන්ට පල්ලියට විතරක් එන්න කියනවා කියලා .......මොකද පොඩ්ඩ ඇත්නම් ඒ කට්ටිය රණදේව ස්ර්ලගෙ වැරදි අඩුපාඩු හොයලා, නැති තැන බනිනවලු....ඔයගොල්ලෝ කසාද බදින දවසට, ඔය කට්ටියට පල්ලියට විතරක් එන්න කියලා කේක් කෑල්ලක් විතරක් දීල අරිනවා කිව්වේ....,හරි කරදර කාරයෝලු......ඒ මදිවට බුලත් දුන්නෙත් නෑ කිය කිය යනවලු....කට්ටියම රණදේව සර්ලගෙ, බැරදි ඕපාදූපමයි හොයන්නේ..... 🤣"


"හා...හා....අනේ පව් මගේ යාලුවො කට්ටිය...."


අපේ ගෙදර කට්ටියට විවාහය සදහා පල්ලියට යෑමට, නිශ්ශංක අංකල් ඉතා වටිනා වාහනයක් අපි සිටින නිවසට එවා තිබුනි..... එය සුදු පාට හා ලා රෝස පාට රිබන් වලින් හා අලුත් ලීලි මල් වලින් ලස්සන සරසා තිබුනි.


තෝමස් ජූඩ් හා රෝසි සමග මම ඒ වාහනයෙන් කන්‍යාරාමය කිට්ටුව ඇති පල්ලිය වෙත මගේ විවාහය සඳහා ගියේ ....., ග්‍රැනී මමී හා ඩැඩි සිහිපත් වෙද්දීයි..... අද දිනේ ඔවුන් ජීවත්ව සිටියා නම් කොපමණ නම් මා වෙනුවෙන් සතුටු වෙයිද....? මගේ ලැබීම, ඔවුන්ගේ නොලැබීම.....මම මණමාලියක් ලෙස සැරසි මණමාලයෙක් සමග යනවා බලන්න ඔවුන්ට වාසනාවක් නැත. ඔවුන් සිහිපත් වි මට ඇතිවුනේ ලොකු දුකකි....නමුත් ලංකාවේ එහේ මෙහේ විසිරි සිටි මගේ සහෝදර සහෝදරියන් එකතු කරගෙන ,ඔවුන් සමග මට මගේ විවාහය සඳහා යෑමට ලැබීම ගැන මට ඇත්තේ කියා ගන්න බැරි තරම් සතුටකි.


"මොනවද අයිරින් කල්පනා කරන්නේ....?


"මට මමී, ග්‍රැනී මතක් උනා තෝමස් ...."


"අනේ ඔව්...මටත් ඒ අය මතක් උනා ...මේ හොද දවසේ, ඒගොල්ලෝ හිටියා නම් කොච්චර සතුටු වෙයිද අයිරින් ඔයා මණමාලියෙක් වෙලා ඉන්න හැටි දැකලා...."

අපිව රැගත් මංගල රතය , පල්ලිය වෙත යන විට, නිශ්ශංක අංකල්ගෙ වාහනය ,ඇතුළු තව තේ වත්තේ වාහන දෙක තුනක් පල්ලිය ලඟ නවත්වා තිබුනි. ෆැක්ටෙරියේ හා කාර්‍යාලයේ සේවකයින්ද අපේ විවාහය සඳහා පල්ලිය වෙත පැමිණ ඇත. ඒ අතර ඉන්දු, සුනේත්‍රා ,හා ලක්මිණි ඉවසුමක් නැතුව මට අත වනමින් මා දෙස බලා ඉදී..... ,ඩිලානි, සුජා, දීපිකා වෙනදා මෙන්ම අදත් පරක්කු වි එන හැඩයි....


"අන්න මණමාලි ඇවිත්....


"අනේ ඩිලානි මිස් අද හරිම ලස්සනයි ..."


"ඩිලානි මිස් කොහොමත් ලස්සනයිනේ..."


"ගෑනුන්ගෙ පින කුණු මුල්ලේ කියන්නෙ ඕකට තමයි ..."


"අදත් ....අර ඩිල්ශාන් සර් රෝද පුටුවෙන් ඇවිත් ඉන්නේ....තාම කකුල සනීප නෑ වගේ...."


"ඔව්....දොස්තරවරු එයාට කියලලු, කකුලට බර දීලා මාස ගානක් යනකම් ඇවිදින්න එපා කියලා ..... ඩිල්ශාන් සර්ගෙ කකුල සනීප වෙනකම් ජෝඩුව කොළඹ ගෙදර ඉදලා ,ඊට පස්සෙ තමයිලු, ඩිලානි නෝනත් එක්කම ඩිල්ශාන් මහත්තයා රට යන්නේ...."


"අනේ වාසනාවන්...එතකොට ඩිලානි නෝනගෙ නංගි රෝසි ...."


"නංගිවත් ඩිලානි නෝනා රට එක්ක යනව කියලා තමයි කියන්නේ......අය්යයි මල්ලිටයි ඉන්න තැන, තේ වත්තේ රස්සාව තියෙනවනේ...."


"අනේ වාසනාවන්....අම්මා තාත්තා නැති වාසනාවන්ත දරුවෝ...."


ඩිල්ශාන් සුදු කෝට් සූට් එකක් ඇද ටයි පටියක් බැද, සාක්කුවේ රෝස පොහොට්ටුවක් ගසා, ලස්සනට ඇඳ පැලැඳ, රෝද පුටුවේ වාඩි වි හිදියි...... ඔහුව තල්ලු කරගෙන පල්ලිය වෙත ගෙන යන්නේ නිශ්ශංක අංකල් විසිනි.... ලීලානි ආන්ටි ලා රෝස පාට ලස්සන වටින සාරියක් ඇද වෙනදා මෙන්ම රත්තරං බඩු, අතේ කරේ පුරවා ගෙන හිදියි. ඩිල්ශාන්ගෙ මව චාම් රෝස පාටට හුරු ඔසරියක් ඇද ,ඇයගෙ නැඟනිය සමග හිඳියි......


කන්‍යාරාමයේ සියලු කන්‍යාතුමියන් , සොහොයුරියන් සුදු හා ලා නිල් පාට කබා ඇද පල්ලියේ ඇතුලේ පේලියට සිට ගෙන සිටින්නේ අපට ආශිර්වාද කරන්නයි.


මදර් තෙරේසා විසින් අපේ විවාහය, පල්ලිය තුලම ලියාපදිංචි කරලීමට කටයුතු සකසා තිබුනි...ප්‍රදාන පූජකයකු පැමිණ ,සියලු දෙනා ඉදිරිපිට අපේ විවාහය කරවුයේ දේවමෑනියන්ට සියලු යාච්ඥා කිරීම් කර අවසනය.... . ඩිල්ශාන් රෝද පුටුවේ හිද ගෙනම මට, රත්තරං මුද්දක් පැලැන්දුවේය...මමද ඔහුගෙ ඇගිල්ලේ රත්තරං මුදුවක් පැලැදුවායින් පසු ,ඩිල්ශාන් මට ඉතා උනුසුම් ලෙස හාදුවක් දුන්නේ , අපේ විවාහය සදහා පැමින සිටි සියලු දෙනා ඉදිරියේය.


"ඩිලානි වෙනුවෙන් අපි පොඩි තේ පැන් සංග්‍රහයක් ලෑස්ති කලා, හැමෝම කේක් කෑල්ලක් කාලා තේ බීලා ඉමු....රෑට අපට අලුත් බංගලාවේ අලුත් ජෝඩුව වෙනුවෙන් රෑ කෑමටත් යන්න තියෙනවානේ......"


"ෆැක්ටෙරියෙ ,ඔෆිස් එකේ කට්ටියට අද දවල්ට කෑම එහේ ලෑස්ති කරලලු......"


ඩිල්ශාන්, ඔහුගෙ මවට නිශ්ශංක අංකල්ට හා ලිලානී ආන්ටිට, අත් දෙක එකතු කර වැන්ද ආකාරයට මමද කලෙමි.... ඩිල්ශාන්ගෙ අම්මා අප දෙදෙනාගේ ඔළු අතගා අපට තෙරුවන් සරණයි කීවාය. ඇය මේ පල්ලියේ මගුලට ,කැමැත්තකින්දඅකමැත්තෙන්ද ඉන්නේ කියා මට තේරුම් ගත නොහැක.


හැමෝම පල්ලියේ කන්‍යාතුමියන් විසින් ලෑස්ති කර තිබු තේ පැන් සංග්‍රහයෙන් පසු, විසිර ගිය අතර ඩිල්ශාන්ගේ මව හා අනෙක් සේවකයින් අලුත් බංගලාව වෙත යන්නට, වාහනය වෙත යනවා පෙනේ.... .


" ලිලානී ....,අද මේ හොද දවසේ, ඩිල්ශාන්ලා එක්ක අපිත්, සිස්ටර් මේරිගෙ සොහොන ලඟට ගිහින් ,ඉටිපන්දම් පත්තු කරලා එමුද ...? නිශ්ශංක අංකල් ලිලානී ආන්ටිගේ අතින් අල්ලගෙන ඇසුවේ ආදරයෙනි .....


"මට බෑ.... ඔයගොල්ලෝ යන්න ...ලිලානී ආන්ටි නිශ්ශංක අංකල්ගෙ අත ගසා දමා ,ඩිල්ශාන්ගෙ මව සිටින පැත්තට ගියාය.


" එහෙනම් අපි විතරක් හරි යමුද?...මට ආසයි සිස්ටර් මේරිව බලලා, අද හොද දවසේ, ඉස්සෙල්ලම සිස්ටර් මේරි වෙනුවෙන් ඉටිපන්දමක් පත්තු කරලා එන්න. ....සිස්ටර් මේරි මට කොච්චර උදව් කරපු කෙනෙක්ද....?එයා නිසානෙ මම මේ කොන්වන්ට් එකට ආවෙත්...."


"කමක් නෑ ලිලානී ආවේ නැතුවට ....අපි යමු....."


නිශ්ශංක අංකල් ,ඩිල්ශාන්ගේ රෝද පුටුව තල්ලු කරගෙන, සිස්ටර් මේරිගෙ සොහොන පැත්තට යයි..... මගේ වේලය උස්සාගෙන, රෝසි මා පසුපසින් එන්නේ මගේ තනියටයි.... ඔවුන් දෙදෙනා පිටුපසින් අපි දෙදෙනා ඇවිද ගියෙ සතුටිනි.


කඳු වලල්ලකින් වටවු පුංචි කඳු මුදුනේ පල්ලිය, කන්‍යාරාමය හා සොහොන අවට වෙනදා මෙන්ම සීතල සුළං රැලි සමග, මීදුම් වළලු කැරකෙමින් පාවී යයි......සීතල සුළං රැළි ඇඟේ වැදුනත්....මට එය නොදැනේ.....මගේ හිත සතුටින් පිරි ඉතිරි ගොස් ඇත. දැන් මමත් ඩිල්ශානුත් නීතිමය වශයෙන් වගේම දෙවියන් ඉදිරියේද විවාහ වි හමාරය.....


නිශ්ශංක අංකල් සිස්ටර් මේරිගෙ සොහොන ලඟදි, ඉටි පන්දමක් පත්තු කර, ඩිල්ශාන් අතට දුන්නේය....


" ඩිල්ශාන් මේ ඉටිපන්දම ඔයාව පොඩිකාලේ ගොඩක් ආදරෙන් බලාගත්ත සිස්ටර් මේරි වෙනුවෙන් තියන්න...."


"සිස්ටර් මේරි මාව බලන්න බදුල්ලේ බාලිකා නිවාසයට ආවා මට තාම මතකයි .....

....එයා මට ගොඩක් ආදරෙන් හිටිය කෙනෙක් ..... ඒ නිසා මට සතුටුයි අද මගේ ජීවිතේ විශේශම දවසේ මෙතන්ට එන්න ලැබීම ගැන ...."


"ඔව්...ඔයාව අපට ලැබුනේ සිස්ටර් මේරි නිසා...."


"ඒ කිව්වේ...?


" ඒක ලොකු රහසක්.....සිස්ටර් මේරි, ඩිල්ශාන්ට ගොඩක් වටින කෙනෙක්....දැන් අපට බදුල්ලේ බාලිකා නිවාසයට යන්න පරක්කු වෙනවනේ.....මම ඔය දෙන්නගෙ වෙඩින් එක ඉවර උනාම ඒ කතාව කියන්නම් ...."

මමත්, ඩිල්ශානුත් මුහුනට මුහුණ බලා ගත්තේ ඔහු කිව් අමුතු කතාව තේරුම් ගත නොහැකිවය.....


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page