top of page

♨️අයිරින් ඩිලානි ♨️

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jul 13, 2021
  • 4 min read

( 28 වන කොටස)

වයස අවුරුදු දහඅට පිරෙන්න ඔන්න මෙන්න කියා සිටින මම දැන්...., බැලු බැල්මට බොහෝම ප්‍රසන්න පැහැපත්, සුන්දර දැරියක්ව හිදින බව මාව දකින සියලු දෙනා කියති....


හොද කෑම බීම ඇදුම් පැළඳුම් නොමිලේ බාලිකා නිවාසයෙන් ලැබීම නිසාත්, මගේ සියලු වියදම් ඔවුන් දැරීම නිසාත්, අවුරුදු හතරක් පුරාවට, හිතේ බරක් නැතුව මම මගේ ඉගෙනීමේ කටයුතු හොදින් කරගෙන ගියෙමි. උසේ තරමට මහත ඇති ඇඟ අතපය කිරි සුදට, දිගට රැළි සහිතව වැවුනු තඹ පාට කොන්ඩය, මගේ පරම්පරාව නොහොත් බර්ගර් පෙනුම, නැතහොත් මගේ ග්‍රැනීගේ, මමීගෙ පෙනුම, මට මේ වනවිට හොදින්ම ලැබී තිබේ....මගේ ලස්සන රෑපය , ගතිගුණ නිසා මම බාලිකා නිවාසයේ දැන් දිදුලන තාරුකාව වී හමාරය..... බාලිකා නිවාසයේ පාලිකාව, නිතර මා දෙස, මට හොරා බලා ඉන්නවා මට දැනේ....කුස්සියේ වැඩකරන සීතා ,ලතා අක්කලා මගේ මුහුණටම මගේ හැඩ රුව ගැන වර්ණනා කරති. නිවාසයේ පුංච් දරුවො මගේ කොන්ඩය අත පත ගාමින් මට බොහෝ ආදරය කරති. බාලිකා නිවාසයේ සැවොම අතර මම දැන් වෙනස්, පිළිගැනීමක් සහිත යොවුන් ගැහැනු දරුවෙක් බවට පත්වී ඇත.


ඉස්සර ඉදහිට මා බලන්න ආ සිස්ටර් මේරී හා සීතම්මා, මා බලන්න දැන් කාලෙකට ආවේ නැති එක ගැන මට ඇත්තේ දුකකී.... ඉස්සර නිතර නිවාඩු පාඩු අවස්තාවල මට දුරකතනයෙන් කතා කරන සිස්ටර් මේරීද මේ වන විට මා මගහැර සිටින ගතියක් පෙනේ.... සීතම්මා දැන් බොහෝ මහළු වී ඇති නිසා ඔවුන්ට මා බලන්න එන්න හැටියක් නැතුව ඇතියැයි මට සිතේ......සිස්ටර් මේරී මීගමු කොන්වන්ට් එක හැර ගොස්ද කියා සැකයක්, මට දැන් ඇතිවි ඇත.....සිස්ටර් මේරි, නිතර මට දුරකතනයෙන් කතා නොකිරීම නම් බාලිකා නිවාසයේ ,පාළිකාවගේ සතුටට කරුනක් වි ඇති බව මට වැටහේ....


"ඩිලානි නංගි බලන්න දැන් කාලෙකින් මීගමුවේ සිස්ටර් ආවේ නෑ නේද..."?


"ඒක තමයි ලතා අක්කේ....මම මේ සිස්ටර් මට කෝල් එකක් දෙනකම් බලාගෙන ඉන්නේ....,මට ජොබ් එකක් හොයලා දෙන්න කියන්න ...."


"අපි අර මාකට් එකට යන පාරේ සුමනා නැන්දට දුන්න ඔයාගෙ රැකියා ඉල්ලුම් පත්‍රය, එයා එයාගෙ බන්ඩාරවෙළ ඉන්න දුවට ඇරියා කිව්වා..."


"අනේ ඇත්තද අක්කේ.....ඒ සුමනා නැන්දා හරි හොදයි නේද....? අපි මාකට් යන වෙලාවට, ඒ ගෙදරට ගොඩ උනාම, නැන්දා අපට කන්න මොනව හරි හදලා තිබුනොත් බලෙන් කන්න දෙනවා...හරි ආදරෙන් මට කතා කරන්නේ.....නිවාසේ ළමයි ඉස්කෝලේ යන වෙලාවට,ඒ නැන්දා උදේ හවසට අපිව දැක්කහම හරි හොදට හිනාවෙලා කතා කරලා, අපට වත්තේ තියෙන ජම්බු ,පේර එහෙම කඩලා බෑග් වලට දාලා දෙනවා...."


"අනේ ඔව් නංගී ...ඒ නැන්දා හරි හොදයි ....එයාගෙ දුවලා දෙන්නම කසාද බැදලා ගමෙන් ගිහින් ඉන්න නිසා, ඒ නැන්දා හරි පාලුවෙන් ඉන්නේ....ඒකයි බාලිකා නිවාසේ ලමයි එක්ක නිතර කතා කරන්නේ.....සුමනා නැන්දාගෙ මහත්තයාත් දැන් අවුරුදු පහකට විතර උඩදී ආන්ත්‍ර උනානේ....දැන් සුමනා නැන්දා තනියම ඔය ගෙදර ඉන්නේ...."


"මම මේ බලාගෙන ඉන්නේ සුමනා නැන්දගෙ දුව මට රස්සාවක් හොයලා දෙනකම්...."


"හැබැයි නංගි...ඔයා ඔය ඇප්ලිකේෂන් එක සුමනා නැන්දට දුන්න බව මැඩම්ට නම් කියන්න එපා....එයා කැමති නෑ බාලිකා නිවාසයේ ළමයි , මේ අවට ගෙවල් වල අය සමග කතා කරනවට......."


"ඔව් අක්කේ ඒක මම දන්නවා.....මැඩම් මට මේ ළගදි කිව්වා එයා අඳුනන ආන්ඩුවේ ලොකු රස්සා කරන ගොඩක් අය එයා දන්නවා, ඒගොල්ලන්ට කියලා කියලා මට ජොබ් එකක් හොයලා දෙන්න බලන්නම් කියලා ...."


"අනේ එයා අදුනන ආන්ඩුවේ රස්සා කරන අය.....නංගි පොඩ්ඩක් මැඩම්ගෙ යාළුවන්ගෙන් පරිස්සම් වෙලා ඉන්න...."


ලතා අක්කා කිව් කතාවල හැටියට, මට තේරෙන්නේ බාලිකා නිවාසේ පාලිකාව ගැන ඇයට ඇත්තේ ඒ තරම් හොද දැක්මක් නොවන බව...... ඒ වගේම ඇය අනෙක් පොඩි දරුවන්ට සලකන විදිහ ගැන මට ඇත්තේ කළකිරිමක් වගේම දුකක්....බයක්, සැකක්.... ඇය කියන දේවල් වලින් ඒ බව තවත් තහවරු වි ඇත.


"ඩිලානි දැන් ඉස්කෝලේ යන්නෙ නැතුව නිකන් නිවාසයේ ඉන්න නිසා, මට ඇවිත් ඔෆිස් එකේ වැඩ වලට ටිකක් උදව් කරන්න ....අර සමිති සංගම් වල අය, නිවාසෙට දාන දෙන්න ආවෙලාවේට, ඔයව දැකලා දැන් නිතර මගෙන් ඔයාගෙ විස්තර අහනවා...ඔයා කාගෙ කවුද, ඇයි මෙහෙ ඉන්නේ කියලා ...ඒගොල්ලෝ කැමතියි ඔයාට හොද ජොබ් එකක් හොයලා දෙන්නත්....ඒත් ඔයා ඒගොල්ලන්ට වැඩිය මූණ දීලා කතා කරන්නෙ නැති නිසා ඒගොල්ලන්ගෙ හිතට හරි නෑ...."


"මම වැඩිය කා එක්කවත් කතා කරන්න කැමති නෑ මැඩම්.....මම කැමතියි මැඩම්ගෙ ඔෆිස් එකේ වැඩට උදව් කරන්න එන්න ...."


"ඩිලානි අපොස සාමාන්‍ය පෙළ හොදින් පාස් උනාට උසස් පෙළ ලකුණු මදි උනානේ විශ්වවිද්‍යාලයට යන්න ....දැන් මොනවද ඔයා ඉස්සරහට කරන්න හිතා ගෙන ඉන්නේ....දැන් ඩිලානිටත් අවුරුදු දහඅටට ලඟ නිසා ඉක්මනට මොනව හරි කරන්න වෙයි...."


"ඔව් මැඩම් මට දැන් ඉගෙන ගත්තා ඇති... ..මට රස්සාවක් ඉක්මනට හොයා ගෙන සල්ලි කීයක් හරි හොයාගන්න තමයි ඕනේ...ඒ මගේ නංගි මල්ලි හොයාගෙන යන්න ...."


'ඩිලානිගෙ ඉංග්‍රීසි කතා කිරිම, ලිවීම හොද නිසා ඔයාට රස්සාවක් හොයාගන්න අමාරු වෙන එකක් නෑ....මම අඳුරන ආන්ඩුවේ ලොකු නිලතල දරණ අයට, ඔයාව අදුනලා දීලා ඔයාට හොද රස්සාවක් හොයලා දෙන්න කියලා ඒගොල්ලන්ට කියන්නම්......ඒ ගොල්ලන්ට කිව්වහම ඔයාට රස්සාවක් හොයා ගන්න අමාරු වෙන එකක් නෑ......හැබැයි ඔයා ඒගොල්ලෝ එක්ක හොදට කතා බහ කරන්න ඕනේ...."


" මට ඉක්මනට රස්සාවක් හොයා ගන්න බැරි උනොත් ......මොකද වෙන්නේ මැඩම් ....."


"ඔව් ඩිලානි,....මම ඔයාට ඒක කොහොමද කියන්නෙ කියලා හිත හිත හිටියේ......මේ බාලිකා නිවාසයේ හැදෙන හැම ගැහැනු ළමයෙක්ම අපි රස්සාවල් හොයල දීලා හරි කසාඳ බන්දලා දීලා හරි මෙහෙන් ඉක්මනට එළියට යවන්න ඕනේ.....ඔයා දන්නවානේ ඔයා මෙහෙ ඇවිත් හිටිය අවුරුදු හතරක කාලේ..... මෙහේ හිටිය ලොකු ළමයින්ව මම ඒ විදිහට මම දන්න කියන අයට අදුන්නලා දීලා, රස්සාවල් හොයලා දුන්නා...සමහරු කසාද බන්දලා දුන්නත් මතකයිනේ... ...වැඩි කාලයක් නොයා ඔයාටත් මම රස්සාවක් හොයලා දෙන්නම්..... රස්සාව හම්බුනාට පස්සෙ ඔයාට මෙහෙන් යන්න වෙනවා ...."


'"මට රස්සාවක් හම්බ උනාට පස්සේ මට ලොකු වැඩක් කර ගන්න තියෙනවා මැඩම්....."


"ඒ මොකක්ද ..."


"මම දැන් අවුරුදු හතකින් විතර මගේ අය්යා, මල්ලි ,නංගි දැක්කේ නෑ....හම්බුනේ නෑ.....ඒගොල්ලෝ කොහේද ඉන්නෙ කියලා මම දන්නෙත් නෑ.....මට ඒගොල්ලෝ පුලුවන් ඉක්මනට හොයා ගන්න ඔනේ මැඩම් ..."


"ඉතිං ඔයා ඒගොල්ලෝ ඉන්න තැන් දන්නවද.."?


"නෑනෙ මැඩම්...., පුලුවන් නම් මට ඒ අය හොයා ගන්න උදව් කරන්න ..."


"ඔයාගෙ ලොකු මමි නම් ඒගොල්ලෝ ගැන දන්නවා ඇතිනේ....."


"මම අපේ ලොකු මමි එක්ක තරහයි.....එයා එයාගෙ එකම නංගි ආන්ත්‍ර උනාට පස්සේ, නංගිගෙ ළමයි ටික ළමා මඩම් වලට යන්න ඇරලා බලාගෙන හිටියා.....මගේ අය්යව විතරක් එයා බාර ගත්තේ අය්යගෙන් වැඩ ගන්න පුලුවන් නිසයි.... මගේම අය්යා ඒ දවස් වල මට ඒක කිව්වා....දැන් ලොකු මමී පිටරට පදිංචියට ගිහින්නේ.....ඊට පස්සෙ මම එයා ගැන හෙව්වෙ නෑ.....එයාගෙ විස්තර මුකුත් මම දන්නෙ නෑ..."


"අපි නංගියි මල්ලියි හොයා ගන්න බලමු....ඔය කොළඹ ඉදන් මෙහේ නවතින්න එන්න මගේ නෑදෑයෝ , යාලුවො ඔක්කොම හොද වැදගත් අය.... ඒ අයට පුලුවන් වෙයි ඔයාගෙ නංගියි මල්ලියි, අය්යයි හොයලා දෙන්න.....ඒ අය ආපු දවසක මම ඒගොල්ලන්ට ඔයා ගැන කියන්නම්....ඔයාට ඒගොල්ලෝ එක්ක කොළඹ ගිහින් හරි නංගි මල්ලි ගැන හොයලා බලන්න පුලුවන් ...."


"ඊට ඉස්සෙල්ලා මට රස්සාවක් තමයි හොයාගන්න ඕනේ මැඩම් ...."


"ඔව් ඔයා දැන් ඉස්කෝලේ ගිහින් ඉවර නිසා, ඔයාට රස්සාවක් හොයලා දෙන්න අපට පුලුවන් ......එහෙම නැත්නම් ඔයාව හොද කෙනෙක්ට කසාද බන්දලා දෙන්නත් අපට පුලුවන් ...."


"මම දැන්ම කසාද බදින්න කැමති නෑ මැඩම් ....ඊටත් මම කැමති කන්‍යාතුමියක් වෙන්න...මට මේ නිවාසෙට ආවට පස්සෙ පල්ලි යන්න ,ඔරසම් කියන්න බැරි උනාට මම තවමත් ජේසුස් වහන්සේ වෙනුවෙන් භක්තියෙන් සිටින කෙනෙක් ...


-සදුදා හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page