
♨️අයිරීන්♨️
- Prisila Godahewa

- Apr 29, 2021
- 5 min read
Updated: May 4, 2021
♨♨️අයිරීන්♨️♨️ (නොසැලෙන දියණි) 💥 අදින් පටන් ගන්නා අලුත්ම නවකතාව ( පළවන කොටස)
"පීතාගෙත් පුත්‍රයාගේත් ස්ප්‍රිතු සාන්තුගේත් නාමෙන්..... ආමේන් ජේසු ..!
"ග්‍රැනී" දෙවියන්ට යාච්නා කර අවසානයේ .... පපුවේ කුරුසය අදින තෙක්, ඇයගෙ ඇද ලඟ දෙදන නමාගෙන බොහෝ අමාරුවෙන් ඉවසුම් නැතුව සිටිනා පුංච් අපි.... ඇය කල ආකාරයටම පපුවේ උඩට පහලට හරහට කළබලේ කුරුසය ඇද ඉවර කර සිටි තැනින් නැගිට, ඇගේ කාමරයෙන් එළියට දුව යන්නෙ ඉවසුම් නැතුවමය. ග්‍රැනීගේ (ආච්චි ) නියමය අනුව සැමදා රාත්‍රීයට මගේ අය්යා තෝමස්, නංගි රෝසි ,මල්ලි ජුඩ් හා අයිරින් වන මමත් අපේ මමීගෙ මව වන "ග්‍රැනීගේ" කාමරයට වී දෙවියන් වහන්සේට යාච්නා කරන්නේ ඇයගෙ උවමනාවට මිස අපේ කැමැත්තකට නොවේ..... එදා දිනයේ වු සියලු දේ වෙනුවෙන්, රාත්‍රීයේ නිදාගන්න යෑමට පෙර ,දෙවියන් වහන්සේට ස්තුති කොට යාච්නා කරනා අප පසුව ඇගේ කාමරයෙන් එළියට දුව යන්නෙ, මමී ඩැඩිගෙ ඇදට පනින්න බලාගෙනයි.
"තෝමස් ...අයිරින් ඔය රෝසී ලිස්සලා වැටෙයි ...බලාගෙන දුවන්නේ.... ජූඩ් ...හෙමිහිට යන්න ...මේ ළමයින්ට "ඔරසම්" ටික හරියට කියලා ඉවර වෙනකම් ඉන්න බැරි හැටි....." ග්‍රැනී කෑ ගසයි.
ඒ සැනින් අප හතර දෙනා කෙලින්ම දුව යන්නේ මමී හා ඩැඩිගෙ කාමරයේ ඇද උඩටය....දවසේ වැඩ නිම කර බොහෝ මහන්සි වී ගෙදර එන ඩැඩී රාත්‍රී ආහාරයෙන් පසු වේලාසන නිදාගන්නට ඇදට යයි. දවසම එළිසා හා ග්‍රැනී ලවා ගෙදර වැඩ කරවා ගන්නා මමී...., දවසම නිදහසේ සැහැල්ලුවෙන් සිටියත්, ඩැඩි නිදාගන්නට කාමරයට ගිය සැනින් ඇයද ඇගපත හෝදාගෙන කාමරයට යයි. ඩැඩි ඇද ලග ඇති මේස ලාම්පු එළියෙන් පොතක් පත්තරයක් කියවන තෙක්, මමී ඇයගේ විශාල කන්නාඩි මේසය ලග වාඩිවී ඔළුව පීරමින් මූනේ ඇඟේ ක්‍රීම් ගාන්නේ ඒ මොහොතටය. ඇගේ කන්නාඩි මේසය උඩ පිළිවෙළට පෙළ ගස්සවා තිබෙන ක්‍යුටෙක්ස් ,ලිප්ස්ටික් බෝතල් දකින මට ඒවා ඇර නහයට තබා සුවද බලන්න , කටේ ඇඟිලි වල ගාන්න ඇත්තේ පුදුමාකාර ආසාවකි. එබැවින් ඉදහිට මමී අපේ ආසාව යන්න, මගෙත් රෝසිගෙත් ඇඟිලි වල ක්‍යුටෙක්ස් ටිකක් ගාන්නේ ඇයට හොරා ඒවා අපට අල්ලන්න එපා කියමින්‍ය. නමුත් මමී වැරදිලාවත් කාමරයේ දොර ඇරතබා ගෙදරින් එළියට ගිය දවසට.... මමත් රෝසිත් ක්‍යුටෙක්ස් ලිප්ස්ටික් වල සුවඳ බලන්නේ හරිම ආසාවෙනි...😊
"අයිරින්...තෝමස් හරියට ඔරසම් කිව්වද...? ඩැඩී ගැඹුරු කට හඬින් අපෙන් අසන්නේ, අතේ ඇති පොතට මූණ ඔබාගෙනමය.
"ඔව් ඩැඩී අපි ඔක්කොම ඔරසම් කිව්වා...අහන්න ග්‍රැනීගෙන්...."
"අනේ මමී.... දැන් ඉතිං අපට ලස්සන සුරංගනා කතාවක් කියලා දෙන්නකෝ ...." ජුඩ් හා රෝසි මමිට කරදර කරයි. තෝමස් හා මම දැන් ලොකු දරුවන් උනත්, මමී කියනා සුරංගනා කතා අසන්නට තවමත් කැමතිය.
මට වැඩිමහල් අය්යා මේ වන විට අවුරුදු දහයක් පමන වන අතර, මට බාල මල්ලී අවුරුදු හයක් හා නංගීට අවුරුදු හතරක් වෙයි. මට තාම අවුරුදු අටකී. අපේ පවුලේ සියලු දෙනා සතුටින් එකමුතුව අපේ මමීගෙ මව වන ග්‍රැනී සමග මේ නිවසේ ඉතා සතුටින් ජීවත් වන්නෙ මට මතක ඇති කාලයේ පටන් ය. අපේ දෙමව්පියන්, පුංච් අපට අපේ නමින්ම ආමන්ත්‍රණය කරනව වගේම පුංච් අපිත්, අපේ සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ නමින්ම ආමන්ත්‍රණය කිරිම කරන්නෙමු. කතෝලිකයන් වන අපට එහි වැරැද්දක් නොපෙනේ...
නිදාගැනිමට පෙර ග්‍රැනී සමග දෙවියන්ට ඔරසම් කියන පුංච් අපි දෙවනුව මමිගෙන් සුරංගනා කතාවක් අසාගන්නට ඔවුන්ගේ කාමරයට දිව යන්නේ සතුටිනි. ඒ ගිය සැනින් අපි හතර දෙනා මමීගෙ හා ඩැඩිගෙ, විශාල ඇද උඩ එහෙට මෙහෙට පැනමින් සෙල්ලම් කරන්නේ මමී මූනේ අතේ පයේ ක්‍රීම් ගා අවසන් වන තෙක් ය.
"තෝමස් අයිරින් දැන් මේ ඇද කැඩෙනවා....නවත්වනවා ඔය ඇද උඩ පනින එක....ඔය ළමයි දෙන්නා දැන් පොඩියි කියලද හිතන් ඉන්නේ....ඩැඩි කෑ ගසයි.
"අනේ මමි ඔය ක්‍රීම් ගෑවා මදෑ....එන්නකො ඇඳට... අපට කතාවක් කියලා දෙන්න...." මමීට තුරුල් වී රෑට නිදියන්න වාසනාව ඇති රෝසි... ,ඇය ඇදට එනකම් නොවිසිල්ලෙන් බලා හිදී.
රෑට මාත් තෝමසුත් ග්‍රැනී සමග එක කාමරයක නිදා ගන්නා අතර, මල්ලි ජූඩ් නිදාගන්නේ මමීලගෙ කාමරයේ ඇති " ළමා ඇදෙයි. ගෙදර බාළයා වන රෝසිට විතරක් මමීලගෙ ඇඳේ මමීට තුරුල් වී නිදාගන්න වාසනාව ඇත. ඒ ගැන අපට ඇත්තේ ඉරිසියාවකී.
"අයිරින් තෝමස් දැන් ඔයගොල්ලන්ගෙ කාමරයට යන්න ...දැන් ග්‍රැනී බලාගෙන ඇති ඔය ගොල්ලෝ නිදාගන්න එනකම්..."
"තෝමස් අයිරින් හෙට ඉස්කෝලේ යන්න තියෙනවා ...ඉක්මනට නිදාගන්න යන්න..." ඩැඩිගෙ ගොරහැඩි කටහඬ ඇසුනු සැනින් අපි දෙදෙනා ඔවුන්ගේ ඇදෙන් බැස ග්‍රැනීගේ කාමරයට යන්නේ ඇස් පොඩි කරමින්‍ය.
මමීලගෙ ඇඳේ අපි හතර දෙනාම ඇයගෙ ඇඟට තුරුල් වී "නිදන්න යන විට කියවන කතා " ඇගෙන් අසා ගෙන, පසුව තෝමස් හා මම ඇස් පියවේගන එද්දී නිදාගන්නට, ග්‍රැනීගේ කාමරයට යන්නෙමු. ග්‍රැනී අප දෙදෙනාව රෑට ඇගේ කාමරයේ ඇගේ ඇඳේ ආදරයෙන් නිදිකරවා ගනී. බොහෝ දිනවලට නින්ද යනකම් ඇය මටත් තෝමස්ටත් ජේසුස් වහන්සේ ගැන , බයිබලයේ ඇති කතා, වීර කතා, කවි, ඔරසම් ආදිය කියා දෙයි.
වෙන්නප්පුවේ කතෝලික පවුලක දෙවැනි දරුවා ලෙස උපන් මම, අවුරුදු අටක් වයසැති අයිරින් ඩිලානි ෆර්නැන්ඩු වෙමි. අපි පදිංචි වී හිදින්නේ වෙන්නප්පුවේය....
වෙන්නප්පුවේ පිහිටා ඇති අපේ නිවස, අවුරුදු බර ගානක් පැරණි නිවසක් වෙයි. බොහෝ නිස්කලංක පරිසරයක පොල් ගස්, දෙල් ගස් රුප්පා වලින් වටවි ඇති පෞරාණික ගාම්භීර පෙනුමැති වෙන්නප්පුවේ ඇති පරණම නිවසකී. නිවසේ වත්තට ඇතුළු වන තැන ඇති අලුත් ගේට්ටුව ....දැන් සවි කර ඇත්තේ පැරණි ලන්දේසි සමයේ නිමකරණ ලද විශාල සිමෙන්ති ගේට්ටු කණු දෙකකටය. එය ලන්දේසි සමයේ කැටයම් නිර්මාණ ඇතුලත් කර ඉතා ගාම්භීර පෙනුමැතිව නිමවුවකී. අවුරුදු ගනනාවක් පැරණි එම සිමෙන්තියෙන් නිම වු ගේට්ටු කනු දෙක ,තවමත් හොදින් සවිමත් ලෙස පැවතියත්, දැනට එයට සම්බන්ධ කර ඇති තහඩු ගේට්ටුව නම් මීට අවුරුදු හත අටකට පෙර අලුතින් නිමකරන ලද්දේ අපේ ඩැඩි විසින් බව මමි කියයි. ඒ දශක ගනනාවකට පෙර ලන්දේසි සමයේ නිමවා තිබු ගේට්ටුවේ අභාවයත් සමගය. අද වන විට මෙම ගෙදර අයිතිය අපේ මමීට හා ඩැඩිට ලැබි ඇත්තේ....ඔවුන්ගේ විවාහයට මමීගෙ දෙමව්පියන්ගෙන් ලැබුනු දෑවැද්දක් ලෙසය. එබැවින් මගේ ඩැඩි විසින් මේ වනවිට, මෙම ගරා වැටිගෙන යන නිවසේ නඩත්තු කටයුතු අකමැත්තෙන් වුවත් බාරගෙන කරමින් ඉදී....එන්න එන්නම පරණ ගෙයි නඩත්තු කටයුතු වැඩිවෙමින්, අලුත් වෙමින් ගියත්..... අපේ මමීගේ, මව වන අපේ ග්‍රැනී ...නිතරම පාරම්බන්නේ මෙම නිවස ඔවුන්ගේ දෙමව්පියන්ගෙ ඇයට පාරම්පරිකව ලැබුනු විශාල වටිනාකමක් ඇති දායදයක් බවත් එහි වටිනාකම මිල කල නොහැකි බවත් කියමින් . .....අපේ ඩැඩි නම් ඒ කතා අසන්නට බොහො අකමැතිය...ඒ මේ නිවසේ ඇති නඩත්තු කටයුතු වෙනුවෙන් ඔහු හෙම්බත් වි ඇති බැවිනි. ඇය මේ ගෙදර ගැන වර්ණනා කරනා විට ඩැඩි එය නොඇසුනක් ගානට ග්‍රැනී මග හැර යයි.
"අපේ ග්‍රේට් ග්‍රෑන්ඩ් ෆාදර් මේ ගෙදර හදල තියෙන්නේ.... ඒ කාලේ හිටිය ලන්දේසී ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙ දැනුම ප්‍රයෝජනයට අරන්ලු........ඔවුන්ගේ ගෘහ නිර්මාණ මෝස්තර අනුව තමයි මේ ගෙදර කැටයම් ආරුක්කු බූරුක්කු ඔක්කොම හදලා තියෙන්නේ.... ඒ කාලේ ,ඉංග්‍රීසි ආන්ඩුවේ ලොකු ලොක්කෝ නිතරම ආගිය තැනක් තමයි අපේ මේ වලව්ව. ....ඒ කාලේ ...බලන්න එපෑ සුද්දෝ, ආන්ඩුවේ ලොකු ලොක්කො ඒ කාලේ අපේ ගෙදර එන්නේ ලංකාවේ තිබුන හොදම ඉංග්‍රීසි වාහන වලින්..... ඒ කාලේ අපි හරි පොඩියි....මොනවද ඉතිං හැමදාම සෙනසුරාදා ඉරිදට අපේ ගෙදර පාර්ටි තමයි ...බලන්න එපෑ සුද්දො සුද්දියෝ අපේ ගෙදර එන අපූරුව.....පිරිමි කෝට් කමිස ඇදලා, ගැගැනු දිග, කොට ගවුම් ඇදලා, තොප්පි, සපත්තු දාලා, වටිනා මුතු ආභරණ දාගෙන එන ලොකු ලොක්කන්ගෙ නෝනලා..... ඒ සුද්දියන්ගෙ ලස්සන, ඇදුම් පැළඳුම් මෝස්තර ....බලන්න එපෑ.....මේ දැන් තියෙන මෝස්තර මොනවද....? අපේ පප්පයි, ග්‍රෑන් ෆාදයි, සුද්දො එක්ක එකට වාඩි වෙලා, හැදි ගෑරැප්පු වලින් කෑම කන්නේ..., වයින් බීයර් බීපු හැටි මට තාමත් මතක් වෙනවා.....අපේ මම්මයි, ග්‍රැනීයි වැඩ කරන අයයි බිස්ටේක් හදනවා ,සැන්ඩ්විච් , පේස්ට්‍රි , කෝසස් තමයි ඉතිං සුද්දන්ට කන්න හදන්නේ....හැදි ගෑරැප්පු වලින් මිස අපිත් ගෙදරදි ඒ කාලේ අතින් කෑවෙ නෑ.... ඒ කාලේ අපිත් කෑවේ සුද්දා කාපුවාම තමයි....දැන් වගේ අපි ඒ කාලේ බත් ගිල්ලෙ නෑ....සුද්දන්ට කෑම පිලිගන්වන්න සුදු ඇදුම් ඇදපු කෝකියෙකුයි, අප්පො කෙනෙකුත් එනවා පාර්ටිය දවසට....ඒ කාලේ මතක් වෙනකොට මට තාමත් ආසයි...දුකයි....පාර්ටිය දවසට මස් කකා, වයින් බීලා ගෑනු පිරිමි එකට බදාගෙන නටනවා එළිවෙනකම්....ඒ කාලේ අපි කරපුවා, දැකපුවා දැන් කොහේද...? කොච්චර හොදට ජීවිතය එන්ජොයි කරපු මමද....අද මෙහෙම අඩුපාඩු එක්ක ගෙට වෙලා දුක් විදින්නේ......"
සැමදා ග්‍රැනී ඇගේ බාල කාලය , තරුණ කාලය ගැන අපට කියා දෙමින්, මතක් කරමින් දුක් වෙයි....ඇගේ ඒ කාලේ කතා අහන්න මාත් තෝමසුත් හරිම ආසයි. අපි ඇය වටකරගෙන ඇගෙන් පරණ කතා අහනවිට ඒවා හැඩ වැඩ කරමින් තව ලස්සන අලුත් කෑලී අතින් එකතු කරමින් ඇය ඒවා තලු මර මරා අපට කියා දෙයි.
"ඒ කාලේ කරපුවා කරන්න දැන් කොහේ තියෙන සල්ලියක්ද මම්මේ...? දැන් මේ ගරා වැටිගෙන යන ගෙදර හදන්න හැම මාසෙම මට ඉවරයක් නැති වියදම් ..." ඩැඩි ග්‍රැනීට ඇහෙන ලෙස භාගෙට කියයි.
නිතර ,නිතර අපේ ගෙදර වහලේ තෙමෙන තැන් හදන්න , ජනෙල් දොරවල් දිරා ගොස් කඩා වැටෙන විට ඒවා හදන්න ,ගරා වැටෙමින් යන ගෙයි නඩත්තු කටයුතු වෙනුවෙන් අපේ ඩැඩිට නිතර ලොකු වියදමක් දරන්න සිදු වීම ගැන ඩැඩි සිටින්නේ නොකැමැත්තෙනි. ඒ ඔහු මහන්සියෙන් හම්බ කරන මුදල් ඒ වෙනුවෙන් ඔහුටම වැයකිරීමට සිදුවන බැවිනි.
" උඹලගේ පප්පා, උඹලගෙ වෙඩින් එකෙන් පස්සෙ දෑවැද්ද විදිහට මේ ගේ උඹලා දෙන්නට පවරලා දුන්නේ...., මේ පළාතෙන්ම තිබුන වටිනම ගෙය මේක නිසයි...."
"අනේ මොකට කියනවද ඒකාලේ උජාරුව.... දැන් ඉතිං බලන්න එපෑ....,ඉවරයක් නැති රෙපයාර්...මගේ අතේ තියෙන තුට්ටු දෙක ඉවරයි මේක හදලම..." තාත්තා ග්‍රැනීට බාගෙට ඇහෙන්න ලෙස මමිට කියන්නේ නොක්කඩුවෙනි.
"උඹලට මේවයෙ වටිනාකමක් නැති උනාට, ඒ කාලේ මේ පලාතෙ තිබුන වටිනම වලව්ව මේක තමයි ...මේ ගමේ පරණ මිනිස්සු දන්නවා අපි ගැන හොදට....අපි මේ ගමේ හිටිය හොද ප්‍රභූ පවුලක් කියලා ගමේ හැමෝම තාමත් අපට හොදට සලකනවා.... මගෙ මම්මලා පප්පලා අපට ඒවැදගත් කම තියලා තමයි මැරිලා ගියේ......"
-හෙට හමුවෙමු - *ප්‍රිසිලා ගොඩහේවා






Comments