💞අමුතු දීගේ 💞 අමුතු දීගේ 💞
- Prisila Godahewa

- Jun 17, 2020
- 8 min read
(15 වන කොටස)
🌹🌹"සුනිතා,....ඔයා විකුම් ගැන දැනගත් ඒවා....අපේ අයියට අම්මට කියන්න එපා.....අම්මා ඇතුලු පවුලේ හැමෝම එකතු වෙලා ...මාව ආයේ ගොඩ එන්න බැරි ලිදකට තල්ලු කරලා තියෙන්නේ.....දැන් මට ඒ ලිදෙන් ගොඩ එන්න වෙලා තියෙන්නේ.... මේ....පොඩි කිරි සප්පයෙකුත් එක්කමයි....මගේ කරුමේ.....කාටවත් දොස් කියලා වැඩක් නෑ.....මම වැටින වලෙන් මමම ගොඩ එන්න එපෑ....මාව ලිදට තල්ලු කරපු ඔක්කොම දැන් හැංගිලා....."
මම ඉන්නේ දැන් හැමෝම එක්ක කේන්තියෙනි.
"උබ දැන් ඔය හම්බවෙච්ච් ගුරුපත්වීමට පලයං.....මුලින් උබ ඔය ගෙදරට වෙලා ඈලි මෑලි ඉන්න එක නවත්තලා රස්සාවක් කරපං....අපි පස්සේ බලමු මොකද කරන්න පුලුවන් කියලා .....මම චන්දනට කියන්නම් තව විකුම් ගැන තොරතුරු ටිකක් හොයලා කියන්න කියලා ....."
"ඔව් සුනිතා....මම ගුරුපත්වීම භාර ගන්නවා....මටත් දැන් මේ ගෙදරට වෙලාම ඉන්න විදිහ එපා වෙලා තියෙන්නේ....
පුතාට වයස අවුරුද්ද සම්පුර්ණ උන නිසා ,දැන් මට ඔහු සෝමා ලඟ තබා වැඩට යා හැකි ය. කිලෝමීටර් 15 ක් විතර දුරින් ඇති පාසැලක ගුරු පත්වීම ලැබුන නිසා මට පාන්දරම ගෙදරින් වැඩට යා යුතු වේ......
.එබැවින් උදේ හතර වෙන විට උදේන්ම නැගිට සෝමා සමඟ දවල්ට කන්න කෑමත් උයා පුතාට අවශ්‍ය කරන දේවල් ද ලෑස්ති කර මම වැඩට යන්නෙ සතුටිනි….
බස් එකේ විනාඩි 40 පමන දුරින් පාසැල තිබුන බැවින් මම උදේ හයහමාර වන විට ගෙදරින් පාසැලට යන්නෙමි. පාසැල නිම වී ගෙදර එන විට හවස 2.15 ද පසුවෙයි.
පාසැල් ජීවිතයට නැවත යන්න ලැබුනා යන හැඟීමක් මට ඇති වී ඇත. වෙනසකට ඇත්තේ සාරියක් ඇඳගෙන පාසැල් යාමට සිදුවීමයි. පුංචි දරුවන්ගෙ හුරතල් බලමින් ඔවුන්ට උගන්වමින් ලබන අත්දැකීම් නිසා මගේ ජීවිතයේ ඇති වී තිබෙන ප්‍රශ්න, හිතේ ඇති දුක ටිකක් හෝ මට නිවාගන්නට ලැබුනි.
මම ආන්ඩුවේ පාසැලක උගන්නන්න යන බව අසා, අම්මා, අයියා, අක්කා ගොඩක් සතුටට පත්ව ඇත. අම්මා තකහනියක් මට කෝල් කර කිව්වේ….
" දුවේ...මට හරි සතුටුයි ඔයා වැඩට යන්න හදන්නෙ කිව්වහම…..මගේ අල්මාරිය පිරෙන්න අලුත් සාරි තියෙනවා...ඔයා ඒවා ඇදගෙන යන්න...හැට්ට ටිකක්..කරුනාට කියලා මස්ස ගන්න...මගේ ජුවලරි ඔක්කොම මම අල්මාරියේ හොර ලාච්චුවේ දාල තියෙන්නේ….ඔයා ඒවත් දාන්න... ඉස්කොලේ යන කොට ලස්සනට යන්න…." අම්මා කීවේ හිතේ සතුටින්ය.
අම්මාගේ අල්මාරියේ තියෙන වටින සාරි බොහොමයක් මම දැකවත් නොතිබුනු ඒවායි..... ඇය තරුන කාලයේ ආසාවෙන් එකතු කරපු ඇදුම්.... රත්තරං බඩු ඔක්කොම දැන් අයිති වී ඇත්තේ මටයි..... ඒ නිසා පාසැල් යනකොට දිනපතා මම අලුත් සාරි ඇද අම්මගෙ රත්තරං මාලයක් වලලු දෙකක් දාගෙන යන්න පුරුදු විය.
"සාරදා ...ලස්සන සාරි අදිනවා...කොහෙන්ද...හස්බන්ඩ් ගෙනත් දීපුවද ?
"ඕප දූප හොයන ගුරුවරියන්ද අපේ ගුරුවරු අතර ඉදී….ඔවුන් නිතර මගේ අදින සාරි අත ගා බලා ලස්සනයි කියයි......කොහෙන්ද ගත්තේ අහයි… ගාන අහයි, ...
දහවල් විවේක වේලාවට ගුරු විවේකා ගාරයට එකතු වන ගුරුවරුන්...එකිනෙකාගේ විස්තර අහයි...කියයි.. හිනහෙයි, ....බනියි....කවටකම් කරයි....වැදගත් නොවැදගත් සියලු දේ කතා කරයි......ඒ අතර ඕප දූපද කියවයි….මම අලුත් කෙනෙක් නිසා, හැමෝම කියන දේවල් සිනාසෙමින් අසා සිටින්නෙමි.
ඒ අතර තමන්ගේ පාඩුවේ ඉන්නා ඉතා හොද ගුරුවරුන්ද ඇත.
‘‘සාරදා උපාධියක් තියාගෙනත් ඇයි මේ වගේ පොඩි ළමයින්ට උගන්නන්න බාරගත්තේ.‘‘ පාසැලේ ගුරුවරියන් මගෙන් අසයි…...
‘‘ලොකු ළමයින්ට වඩා මං ආසයි පොඩි ළමයින්ට උගන්නන්න…. ඊටත් මේ දවස් වල ලොකු පන්ති වලට ගුරුවරු ඉන්නවා කියලා ලොකු සර් කිව්වා….ඉස්සරහ කාලේ ලොකු පන්ති දෙක තුනක් කරන්ඩ දෙන්නම් කියලා.….‘‘
‘‘ ඔයාගේ හස්බන්ඩ් රටලුනේ…කොහේද එයා ඉන්නේ......?
"දැන්ම එන්නේ නැද්ද එයා…..?
"ඔයාට පුතෙක් ඉන්නවලු නේද?.
" කවුද එයාව බලා ගන්නේ ඔයා ඉස්කොලේ ආවහම…...‘‘
‘‘අපේ ගෙදර මං පොඩි කාලේ ඉඳන් මාව බලාගත්ත කෙනා තමයි මගෙ පුතාව බලාගන්නෙත්.‘‘
‘‘ ඇත්තද….විශ්වාසවන්ත කෙනෙක් හින්ද හොඳයි. නැත්තම් පොඩි ළමයි වැඩ කරන අයත් එක්ක ගෙදර දාලා එන්ඩ බයයිනේ…. ‘‘
‘‘ඔව්, ඒ නිසා තමයි මමත් බය නැතුව වැඩට එන්නේ.. ‘‘
"ගෙදර වැඩ කරන එක්කෙනාද උයන්නේ….?
"එයත් උයනවා මාත් උයනවා….බෙදාගෙන වැඩ කරනවා...වැඩ කරන එක්කෙනා නම් මම වැඩ කරනවාට කැමතිත් නෑ…..
‘‘ඔයාගෙ හස්බන්ඞ් කවද්ද ලංකාවට එන්නේ….?
"හැම අවුරුද්දේම එයා ලංකාවට එනවද?......‘‘
‘‘මේ අවුරුද්දෙ අන්තිමට එයි…..‘‘
‘‘පුතාටයි ඔයාටයි පාළු ඇතිනෙ හස්බන්ඩ් නැතුව…...‘‘
‘‘ඔව්, ඒත් ඉතිං මොනව කරන්නද අපි නිසානේ එයා මහන්සි වෙන්නේ…...‘‘
‘‘සාරදා තවම ගොඩක් තරුණයිනේ….. හස්බන්ඞ් ලග නැතුව පාළු නැද්ද….?’’
පාසැලේ ගුරුවරියන් මෙන් ම ගුරුවරුන් ද විවේක වේලාවට එකිනෙකාගෙ ආ ගිය තොරතුරු කතා කරයි.
‘‘ආ... මොකද තුසිත සර් සාරදා ගැන දුක් වෙන්නේ…..‘‘
‘‘නෑ... නිකං මං ඇහැව්වේ….විහිලුවට .‘‘
තුසිත සර්ද මගේම වයසේ උපාධිය ගත් කෙනෙකිය. ඔහු නිතර ම මං ගැන ඕනෑවටත් වඩා උන්නදු වෙනවා යැයි මට සිතේ.... නිතර නිතර මා සමඟ කතාවට එන ඔහු වෙලාවකට මට කරදරයකි.
ඔහු පාසැලට එන්නෙ කාර් රතයකිනි. සාමාන්‍යයෙන් කාර් වලින් ඉස්කෝලෙට එන ගුරුවරුන් මේ පාසැල් වල නැති තරම්‍ය. ජැන්ඩි පහට අඳින ඔහු පාසැලෙන් පසු අමතර පන්ති පවත්වනනෙකු ලෙස ප‍්‍රසිද්ධය.. . ටවුමේ පෞද්ගලික පන්ති පවත්වන තැනක උගන්වන ඔහු හොඳට සල්ලි හම්බ කරන බව ගුරුවරියන් කියන්නේ ඉරිසියාවෙන් යැයි මට සිතේ.
‘‘තුසිත සර් ඉස්කෝලෙ ළමයින්ට වඩා හොඳට උගන්නන්නෙ පෞද්ගලික පන්තියේ ළමයින්ට.‘‘
‘‘ඇයි ඉතිං සල්ලි හම්බ වෙනවනේ…. .‘‘
"කාර් ගන්න, ලස්සනට අඳින්න, හෝටල් ගානේ යන්න එයාට ඔය සල්ලි තියෙන්නේ,. ටවුමේ ටියුටරියේ උගන්නන නිසා තමයි…...
‘‘ඉතිං ඔයගොල්ලන්ටත් පුළුවන්නෙ පෞද්ගලික පන්ති දාලා සල්ලි හම්බ කරන්න…..‘‘තව කෙක් කියයි.
‘‘අනේ අපට ඕවට වෙලාව නෑ. ඉස්කෝලේ ළමයින්ට උගන්නන ටික ඇති...අපි ඉස්කෝලේ උගන්නන ටික හොදට උගන්නනවා…..‘‘
තුසිත සර් පාසැලේ ඉන්න අනිත් ගුරුවරුන්ට වඩා වෙනස් විදිහට කැපී පෙනෙන්න දගලන කෙනෙක් කියා අනික් ගුරුවරුන් කියති. ඔහු සල්ලි භාගෙ තියෙන කෙනෙක් බව බැලූ බැල්මටද පෙනේ..... ඒ ඔහුගේ වටින ඇදුම් පැලදුම් වාහනය නිසාය......
ඔහු නිතර නිතර මා සමඟ කතාවට ඒම නම් මට අල්ලන්නෙම නැති දෙයකි. මා සමඟ ගොඩක් කුළුපඟ චාන්දනී මිස්ටත් ඒක තේරි තිබුනි..
‘‘තුසිත සර් ටිකක් අමුතු විදිහට නේද ඔයා දිහා බලන්නේ…..‘‘
‘‘ඇයි ඔයාට එහෙම වෙනසක් පෙනුන ද?‘‘ මම මුකුත් නොදන්න ගානට ඇගෙන් ඇසීය.
.
‘‘මගෙන් ඔයාගෙ විස්තර ඇහුව්වා. හස්බන්ඞ් මොනවද කරන්නෙ ඇහුව්වා….‘‘
‘‘ඉතිං ඔයා කිව්වද මගෙ හස්බන්ඞ් රට කියලා.‘‘
‘‘නැතුව මට බොරු කියන්නත් බෑනේ…..‘‘
‘‘අපරාදේ ඔයා මගේ හස්බන්ඞ් රට කිව්වේ.‘‘
‘‘ඇයි?’’
‘‘මටත් ටිකක් එයාගෙ වෙනසක් පෙනුනා. ටිකක් කුකුළා වගේ….‘‘
‘‘වගේ නෙමේ…. කුකුළා තමයි. ටිකක් පරිස්සමින් හිටපං…..‘‘
චාන්දනී කිව්ව වගේ ම තුසිත සර්, මම දිහා බලන්නෙ, කතා කරන්නෙ අමුතු විදිහට තමයි..... මට නම් දැන් බයකුත් දැනේ….. මං දැන් ගුරුවරියකි. තුසිත සර්ගෙ අනවශ්‍ය බැලීම් නිසා මා ගැන වැරදි නමක් වත් පාසැල තුළ හැදෙයිද කියා සැකය බය තමයි මට ඇත්තේ...
මං උදේ පාසැල් යන වේලාවට පුතා නිදි..... ඒ නිසා හවස මම ගෙදර යන්නෙ පුතාව දකින්න ඇති නොවිසිල්ලෙනි….. පුතාව නාවලා කවලා පොවලා සෝමා හොඳට බලාගන්න බව, මං දන්න නිසා හිතට බයක් නැත. සෝමා පුංචි කාලේ මාවත් බලාගෙන තියෙනවා. එයා මට අම්මා කෙනෙක් වගේ. ඒක තමයි මට තියෙන ලොකු ම ශක්තිය.
මගෙත් පුතාගෙත් වැඩ කරමින් අප දෙදෙනාගෙ තනියට ජීවත්වන සෝමා සැමියා මිය ගිය වැන්දඹු කාන්තාවකි. ඇගේ දරුවන් දෙදෙනා විවාහ වී ගමේ පදිංචි වී සිටිති. මාස හතරකට පහකට සැරයක් ගමේ ගිහින් දරුවන් හා මුණුපිරි මිණිපිරියන් බලන්න ඈ යන්නෙ ඇය ගෙ මාස පඩි ද එකතු කරගෙනය. මුළු පඩියම දරුවන්ට බෙදා දෙන ඇය ආපසු ගෙදර එන්නෙ අතේ සතේ නැතුවය.
.
‘‘එන මාසෙවත් මං ගෙදර ගිහින් එන්න ඕනෑ නෝනා…..’’
‘‘මට පාසැලෙ නිවාඩු දෙන්නේ අගෝස්තු මුල සුමානෙනේ…. එතකොට සෝමා ගිහින් එන්න. එතකොට සුමාන දෙක තුනක් ඉන්නත් පුළුවන්නේ....’’
‘‘ඒ යනකොට මට දරුවන්ට ඇඳුම් ටිකක් ඇරගෙන යන්නත් ඕනෑ නෝනා....’’
‘‘පමුණුවට ගියා නම් ලාභෙට ඇඳුම් ගන්න පුළුවන්. අපි එන සුමානෙ දිහාවට යමුකෝ පමුණුව පැත්තේ…..මාත් එන්නම් සෝමාගෙ තනියට….’’
සෙනසුරාදා, ඉරිදා ගෙදර ඉන්න දවසට ගෙවල් අස්පස් කරන වැඩවලට මාත් උදව් කරන්නෙ සතියේ දවස් පහම....., සෝමා පුතාත් බලාගෙන උයන පිහන වැඩ ද ගෙදර වැඩ ද කරන නිසා ය........ එම දින දෙක මං මගේ ඇඳුම් හෝදා මැද තබා ගන්නේ ඊළඟ සුමානෙට අඳින්නටය..... විශේෂ කෑමක් හදා රස බලන්නට ලැබෙන්නෙ සෙනසුරාදා, ඉරිදා දිනට පමනි........ හවස් වරුවේ සෝමාත්, පුතාත් සමඟ ගේ අවට තිබෙන දරුවන්ගේ සෙල්ලම් පිටියට ගොස් පුතාව ඔන්චිල්ලා පද්දා ඔහුව සතුටු කිරීමට ද අපි පුරුදු වී සිටියෙමු....... සෙනසුරාදා හවස ගෙවල් ලග පන්සලේ බෝධි පූජාවට මා ඉඳහිට ගියත්, සෝමා නම් දිනපතා හවස හතේ පූජාවට අනිවාර්යයෙන්ම සහභාගී වෙයි.....ඇගේ වයස ගැන සිතා මම ඇයට ඒ අවස්ථාව දීම ගැන මට ඇය නිතර ස්තූති කරයි....... මගේත් සෝමාගේත් දින චර්යාව එසේ ගෙවී යන අතර පුතා දවසින් දවස බලා ඉදිද්දි ලොකු මහත් වේ.
පුතා සුරතල් වදන් පවසමින් අප දෙදෙනා සමඟ හුරතල් වෙමින් ගත කරන කාලය මටත් සෝමාටත් හිතට සතුටු ඇතිකරයි..... සෝමා අම්මා කෙනෙක් මෙන් අප රැුකබලා ගනී. මාගේ දරුවාට ඉතා ආදරය කරන සෝමාට මා මාගේ අම්මාට මෙන් කරුණාවෙන් සලකමි.. .. ...
අම්මා තව ම අසනීපයෙනි. මට පුතා සමග බස්වල යන්නට බැරි බැවින් ඇයව බලා ඒමටද නොහැකිය. ඉද හිට අයියා කොළඹ එන වෙලාවට අම්මාද අපි බලන්න එයි...... ඒ ආවේලාවට ඇය මා දෙස බලා සිටිමින් සුසුම් හෙල පසුතැවෙන හැටි දැක මටද ඇති වන්නේ දුකකි…. . ඇගේ ඉක්මණ්වීම නිසා මා විකුම්ට කසාඳ බන්ඳා දී ඇය කරගත් මෝඩ වැඩය ගැන ඇය දැන් කලකිරී ඇතැයි මට සිතේ. ඇය අයියාගෙන් ඉල්ලා නිතර නිතර මගෙ වියදමට සල්ලි දෙයි..... මං ඒවා මගෙ පොතේ දමා ගන්නෙ පුතාගෙ අනාගතය ගැන සිතාය. සෝමාගෙ පඩිය ගෙවන්නේ අයියායි. අම්මා අයියාගෙන් එයට ද මුදල් බලෙන් ඉල්ලා ගන්නා බව මම දනීමි. විකුම් ද ඉඳහිට එවන මුදල් නිසා මගේ පොතේ දැන් සල්ලි ටිකක් ඉතිරි වී ඇත. මම රකියාවෙන් හම්බ කරන පඩිය මාත්, පුතාත් සෝමාගේත් වියදමට ගන්නේමි. සෝමා හොඳින් අරපිරිමහගෙන ගෙදර වියදම කරගෙන යයි. ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ගන්න යන්නෙ සෝමා ය. ඇය මා දෙන මුදල පරිස්සමින් වියදම් කරයි. එය මට විශාල සහයෝගයකි.
‘‘නෝනව මං පුංචි කාලේ බලා ගත්තා. දැන් නෝනගෙ පුතාවත් මං බලාගන්නවා.‘‘
ඇය නිතර ම අපේ දන්න කියන අයට කියයි. ඇය මට ආදරේ කරන, මං ගැන නිතර හිතන කෙනෙක් වීම ලොකු දෙයකි.
‘‘සෝමා පෝය දවසට පන්සල් ගිහින් සිල්ගන්න ....... මට පුළුවන් එදාට පුතාව බලාගන්න.‘‘
‘‘අනේ ලොකු දෙයක් නෝනා. මං දැන් ඉතිං පිනක් දහමකුත් කරගන්න එපැයි. මටත් දැන් අවුරුදු 60කටත් වැඩියි.‘‘
‘‘තාත්තාගෙ අවුරුදු දෙකේ දානෙත් ලඟයි.....අයියා නුවර ගෙදර දානේ ලොකුවට දෙයි ..... අපි වෙනසකටත් එක්ක දානේට... කෝච්චියේ නුවර යමුද සෝමා......‘
"කොච්චර දෙයක්ද.....කාලෙකින් කෝච්චියක යන්න බැරි උනා.....චූටි බේබිත් කෝච්චියක් දැකලත් නෑනේ......"
අම්මත් එක්ක දවස් තුන හතරක් ඉදලත් එන්න පුලුවන් එතකොට .....පව්..අම්මා මම ගැන දුකෙන් ඉන්නේ...මට අයියගේ නෝනා කිව්වේ.....අම්මා දවසක් රාණී ඇන්ටිලාගේ ගෙදර ගිහින් හොදටම බැනලා.....විකුම් මාව රැවැට්ටුවා කියලා.....ඊට පස්සෙ තමයි, රානි ඇන්ටි ඔය කැනඩාවේ පදිංචියට ගිහින් තියෙන්නේ......ලැජ්ජාවයි...දුකයි නිසා.....හැබැයි රාණි ඇන්ටි මට බොරුවක් කරන්න හිතුවේ නෑ....විකුම් තමයි පස්සෙ පස්සෙ වෙනස් උනේ....මම එහේ යන්න පරක්කු වෙන කොට......
‘‘අනේ ...ඔව්....ලොකු නෝනා නුවරට ම වෙලා ඉන්නෙ, පුංචි නෝනා ගැන දුකේ... තමයි .....ලොකු නෝනගෙ කීමටනෙ පුංචි නෝනා විකුම් මහත්තයාව කසාඳ බැන්දේ.‘‘
‘‘අම්මා මොනව කරන්නද සෝමා මගේ කරුමේ... මේ මට වෙන්න තිබුණ දේ….මට උනේ….මට හිතාගන්න බැරි විකුම් ඉඳහිට කතා කරල පුතාගෙ දුක සැපත් අහනවා. මගේ පොතට සල්ලිත් දානවා. එයාට ලංකාවට එන්න වුවමනාවක් නෑ...... මං ඒ කේන්තියටමයි එයාට කෝල් කරල කතා කරන් නැත්තෙත්. එයා කියන්නෙ මගේ වීසා තවම හදාගන්න බැරිලූ. .... ඒ නිසාලූ අපිව එයාට ගෙන්න ගන්න බැරි කියලා....."..මම සමහර දේවල් සෝමාටද හංගමි..‘
‘‘ඒ උනාට පුංචි නෝනා විකුම් මහත්තයාට කෝල් කරල සමාදානයෙන් ඉන්න. මොනව වුණත් මේ දරුවටත් තාත්තා කෙනෙක් එපැයි.‘‘
‘‘ඒ උනාට මාව විකුම් කසාඳ බැන්දේ සුමානෙන් දෙකෙන් රට එක්ක යනව කියලනේ. ඇයි දැන් මේචචර කාලයක් ගිහිල්ලත් මාව ගන්න වුවමනාවක් නැන්තේ, දැන් ගන්න බෑ කියන්නෙ.. ..”‘
‘‘මොනවහරි ප‍්‍රශ්න ඇති නෝනා. ඒවා විසඳගෙන නෝනවයි, බබාවයි රට එක්ක යයි…. නෝනා කේන්තියට කතා නොකර ඉන්න ඉන්න මහත්තයාට නෝනව එපා වෙයි.‘‘
‘‘මට හිතේ තරහ තියාගෙන බොරුවට කතා කරන්න බෑ. මේ කිරි සප්පයා ගැන හිතල හරි එයා ලංකාවට ඇවිත් යන්න එපැයි එක පාරක්...එයාගෙ ලෙයින් හැදුන ළමයව එක පාරක් එයා කොහොම නොදැක ඉන්නවද මන්දා….‘‘
‘‘ඉස්කෝලෙ ගුරුවරු වුණත් වටින් ගොඩින් අහනවා හස්බන්ඞ් කවද්ද එන්නෙ,..... එන්නෙම නැද්ද? ඒ මිනිස්සුත් මං හිතන්නෙ, මාව හස්බන්ඞ් දාලා ගිහින් කියලා හිතාගෙන ඉන්නේ..…...‘‘
‘‘පිට මිනිස්සු එහෙම තමයි නෝනා,..... අනිත් අයගෙ ඕප දූප තමයි හොයන්නේ…. මිනිස්සුන්ගෙ හැටි. තමන්ගේ දේවල් හොයා බලාගෙන ඉන්නෙ නැතුව, අනුන්ගෙ දේවල් තමයි වැදගත්…...‘‘
‘‘ඒ වුණාට මං මෙහෙම තනියම ඉන්න කොට නරක මිනිස්සුත් එයින් ප‍්‍රයෝජන ගන්න බලනවානේ…...‘‘
‘‘ඇයි නෝනට කාගෙන් හරි මුකුත් ප‍්‍රශ්නයක් වුණා ද?‘‘
‘නෑ එහෙමත් නෑ. මං නිකං කිව්වේ.‘‘
සෝමාට නොකිව්වට ඉස්කෝලයේ පිරිමි ගුරුවරුන් දෙදෙනෙකුම මං ගැන ඕනවාට වඩා උන්නදු වෙන බව මට තේරිලයි තියෙන්නේ….. ඒ අය වටින් ගොඩින් මං ගැන හොයලත් තියෙනවා වගේ කතාවෙන් තේරෙන්නේ...... නැත්නම් මාත් එක්ක හස්බන්ඞ් ගැන ඕනෑවට වඩා අහන්න ඕන නෑනේ.... මට මිනිහෙක් නෑ කියල වෙන්න ඇති හිතන් ඉන්නෙ...... මට විකුම් ගැන එන්නෙ කේන්තියකි …..
තාත්තාගෙ අවුරුදු දෙකේ දානයට මාත්, සෝමාත්, පුතත් කෝච්චියෙන් නුවර බලා ගියේ ඒකාකාරී ජීවිතයෙන් ටිකක් හරි මිදෙන්න හිතා ගෙනය. පාසැල් යන්න පටන් ගත්තට පස්සේ, මගේ හිත ටිකක් ශක්තිමත් වී හැඩයි….තනියම තීරණ ගන්න….තනියම ගමන් බිමන් යන්න...කෙලින් කතා කරන්න හැම දේකටම දැන් මම පුරුදු වේගෙන එන හැඩයි......
උදේ ම අපට කන්න බොන්න කෑම හදාගත්ත සෝමාත් මමත් කෝච්චි ගමනට ලෑස්ති වුණේ හරිම කැමැත්තෙනි. මම මෙන්ම සෝමාත් කෝච්චියෙන් ගමනක් ගිය කාලයක් මතක නැති තරම්‍ය.පුතාට වැඩිපුර ඇඳුම් ද අප දෙදෙනාට ද දින දෙක තුනකට ඇති වෙන්න ඇඳුම් දාගත් අප කොටුව දුම්රිය පොළෙන් නුවර කෝච්චියට නැග්ගේ හරි සතුටිනි.
‘‘චූටි බේබි හරි ආසාවෙන් ඉන්නෙ කෝච්චියේ යන්න…. බේබි විතරක් නෙමේ...මාත් ආසයි නෝනා….‘‘සෝමා කීවේ පොඩි ළමෙක් ගානටය.
‘‘මේ දරුවටත් කියල විනෝද ගමනක්වත් යන්න විදිහයක් නෑනේ....‘‘
‘‘ඒක තමා නෝනා ඉස්කෝලේ යනවා…. මං ගෙදර ඉඳන් දරුවා බලාගන්නවා. ලඟ පන්සලට ඇරෙනන අපි කොහේවත් යන්නෙ නෑනේ නෝනා….. මාත් හරි ආසාවෙන් මේ ගමන ආවේ.‘‘
කෝච්චිය දඩ දඩ ගා එක හුස්මට දිගටම යයි. පුතාව වඩා ගෙන කෝච්චියේ ජනේලයක් ලඟ ඉන්න සෝමා පුතාට වට පිට පෙන්වයි…. ජනේලයෙන් එන සුළඟින් පුතාගේ තුනී කෙස් සුළඟ යන හැටි බලාන මං උන්නේ වෙන කල්පනාවක ය. පුතා හිකි හිකි... ගා හිනාවෙයි. ඔහුට හුළඟ වදිනකොට සතුටට ආසාවෙන් හිනා යයි. දැන් ඉඳහිට අම්.. මා, තා.. තා... තා.. කියා පුතා ටික ටික වචන කතා කරන්න පටන් ගෙන ඇත.
‘‘නෝනා අපි නුවර ස්ටේෂන් එකෙන් බැහැල කොහොමද යන්නේ.‘‘
‘‘අයියා එනව කිව්වා ස්ටේෂමට.‘‘
‘‘අනේ... එහෙනම් හොඳයි. මේ බෑග් මලූ උස්සගෙන යන්නත් අමාරුයිනේ... අපි උදේ පාන්දර ස්ටේෂමට බස් එකේ එනකොට මං බයේ හිටියේ මේ වගේ ම නුවරින් බැහැලත් යන්න වෙනවනේ කියලා.‘‘
‘‘නෑ... මං වේලාසන අයියට කියල ඇරියා අපි වෙනසකටත් එක්ක කෝච්චියේ එනව කියලා…..‘‘
අපි කෝච්චියෙන් බහින විට අයියා අපිව එක්ක යන්න ඔහුගේ වෑන් රථයෙන් පැමිණ තුබුනි. අයියා පුතාව වඩා ගත්තේ හරි ආදරයෙනි.
‘‘අනේ මගේ චූටි පුතා... එන්න.. එන්න.. මාමා ලඟට….ඔහු ආදරයෙන් පුතාට කතා කරයි..‘‘
අයියා අත් දෙක දික් කළ විට, ටික වේලාවක් ඔහු දෙස බලා සිටි පුතා, අත් දෙක දික් කරල ඔහු අතට ගියේ ඔහුගෙ සාක්කුවේ තියෙන ෆෝන් එක දැකල වෙන්න ඇති…. අයියගෙ අතට ගිය ගමන්ම පුතා ඔහුගෙ කමීස සාක්කුවේ තිබුණ ෆෝන් එක අත ගාන්න එළියට අඳින්න පටන් ගත්තේ ඒකට ආසාවෙන්ය.
-හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *





Comments