💞 අමුතු දීගේ 💞 අමුතු දීගේ
- Prisila Godahewa

- Jun 28, 2020
- 10 min read

(18 වන කොටස)
🌹🌹මම හැරි බැලූවේ කාගෙ කටහඩද කියා.... ඒ හුරුපුරුදු කටහඬ ……... මට මගේ ඇස් දෙක අදහාගත නොහැකි විය. අවුරුදු තුනකට විතර පසු මගේ ජීවිතයේ... ළමා කාලයේ, තරුණ කාලයේ එක ලග සිට ගෙවා දැමූ මගේ ලගම මිතුරා මගේ ලඟ සිට ගෙන සිටී…...
ටයි කෝට් දමා ගත් ඉතා කඩවසම් තරුනයෙක් …..මා ඉදිරිපිට සිට ගෙන සිටින්නේ නිරංජන්ය…..🌹. මට හිතා ගැනීමට නොහැකි විය….. කාලයක් තිස්සේ මම එහෙන් පිටින් ම අමතක කර දමා සිටි ඔහු, මගේ ඉදිරිපිට සිට ගෙන සිටින්නේ සතුටිනි...... පිටරට රැකියාවක් කරන ඔහු කොහොමද මෙතන ඉන්නේ…..දහසකුත් එකක් ප්‍රශ්න ඔලුවට ආවත් හිත සතුටින් පිරි ඉතිරි යන්නට ලං විය…...
‘‘ආනේ... මේ නිරංජන් අයියා…...‘‘ මට උන් තැනින් නැගිට්ටිනි...
නොදැනුවත් ම ඔහුගේ ඉදිරිපිට හිට ගත් මම ඔහුගේ අත තරයේ අල්ලා ගත්තෙ…..මගේම සහොදරයෙක් ගානට සිතීය…..ඉන්නේ කොහේදැයි අමතකවය.. මගේ සතුට උතුරා දෝරේ ගලයි…... ඔහු ද මගේ අත අල්ලා ගත්තේ තමන්ගෙම නැගනියක් සේ සිතා සතුටෙන්ය.
යම්තම් බහතෝරන වියේ සිට එකිනෙකා අඳුනාගෙන ගමේ, වෙලේ දොලේ දුව පැන සෙල්ලම් කළ පුංච් අප…..., තරුණ වියේ දි එකිනෙකා නැතුවම බැරුව හිටි කාලය….. කොයිතරම් නම් සුන්දරදැයි සිහියට නැගුනි…..
අප දෙදෙනා මගේ විවාහයත් සමඟ සමුගෙන ගිය අයුරු මට මතක් වී දුක මිශ‍්‍ර ලැජ්ජාවක් ඇති විය….
නිරංජන් අයියා අඳුනාගන්න බැරි තරමට වෙනස් වී ඇත. ඉතා කඩවසම් උස මහත ඔහු මගේ ඇස් අදහගන්න බැරි තරමට වෙනස් වී ලස්සන වී ඇත. ඔහු ඇදන් සිටි යුරෝපීය කෝට් සූට් ඇදුමට….කාලයකට පසු දුටු ඔහු, කෙතරම් කඩවසම්යැයිද සිතේ….
‘‘ඉතිං කොහොමද?.... සාරදා වෙනස් වෙලා ගොඩක් ලස්සන වෙලා. මේ රෑ තනියමද…? විකුම් එක්කද ආවේ….ඔහු වටපිට බැලුවේ විකුම් කොහේද කියන්නා සේය….. .
‘‘ඇයි මං විතර ද ඔයත් එහෙමයි…..දැන්නම් අදුන්ගන්න බැරි තරමට නිරංජන් අයියා වෙනස් වෙලා… මම අපේ ඉස්කොලේ ටීචර්ස්ලා එක්ක ආවේ...‘‘
"ඔයා දැන් ටීච් කරනවද….?
"ඔව්….අයියා ….
‘‘කාගෙද මේ වෙඩින් එක ඔයා දන්න….‘‘
‘‘අපේ ඉස්කෝලේ ටීචර් කෙනෙක්ගෙ පුතෙක්ගෙ.‘‘
"ඔයා ටීච් කරන ඒක හොදයි ..උපාදියත් තියාගෙන නැත්තම් ගෙදර ඉන්න එක අපරාදේ….
‘‘ මම හිතුවේ,... අයියා තවම රට කියලා…..එතකොට ඔයා දන්නෙ මේ වෙඩින් එකේ කාවද?’’
‘‘මේ මඟුල් ගෙදර මණමාලයා, අපේ ඔෆිස් එකේ….අපිත් එක්ක වැඩ කරන්නේ…..‘‘
‘‘ඇත්තද ඒ කියන්නෙ චාන්දනිගේ පුතාත් එක්ක ද ඔයා වැඩ කරන්නේ….ඔයා රට ඉදලා ආවේ කවද්ද …?.‘‘
‘‘චාන්දනී කියන්නේ කුසල්ගෙ අම්මා වෙන්න ඇති.‘‘
‘‘ඔව්... ඔව්... අනේ නිරංජන් අයියා මට හරිම සතුටුයි, ඔයාව දැකලා…... මාව අමතක කරල දැම්ම නේ ද?.....ඔච්චර ලංකාවේ ඉදලත්, නිකමට අපිව බලන්නවත් ආවේ නෑනේ…. .‘‘
‘‘මං ද අමතක කරල දැම්මේ….?...මම කොහොමද ඔය ගෙවල් වලට එන්නේ….නැන්දගෙ ගෑස් බලන්න...... ‘‘
‘‘හරි.. හරි... ඒවා අමතක කරල දාමු. ඉතිං කියන්න ඔයා දැන් මොනවද කරන්නේ.‘‘
‘‘මං දැන් මාස හයක් විතර වෙනවා ලංකාවට ඇවිත්..කොලොබ කම්පියුටර් සෙන්ටර් එකක දැන් වැඩ….. මං ඉගෙනගත්ත තැන ම මට ජොබ් එක හම්බ වුණා. එතනින්මනේ මාව රට ඇරියෙත්......මට දැන් හොඳයි…..රට ගිහින් ආවට පස්සේ මට ඔෆිස් එකෙන් වාහනයකුත් හම්බ වුණා.‘‘
‘‘අනේ හරිම ශෝක්…... මට හරි සතුටුයි අයියා ඔයා ගැන…..ඉතිං නැන්දයි, මාමයි කොහොමද?...කාලෙකින් දැක්කෙත් නෑ….’’
‘‘ඒ දෙන්න හොඳින් ඉන්නවා. අයියලාගෙ ගෙදරත් දෙන්න ගිහින් ඉඳල එනවා……..අයියා බැන්දනේ……. අපි අලූත් ගෙයක් හැදුව.... මීපේ.... එහේ තමයි අපි තුන්දෙනා දැන් ඉන්නෙ. අම්ම නම් නිතර ම අයියලාගෙ ගෙදර යනවා. පුතා බලලා එන්න…...‘‘
‘‘නැන්දයි, මාමයිනම් මට තාත්තාගෙ මරණ ගෙදර දවසේ හම්බ වුණා.‘‘
‘‘මට අම්මා කිව්වා.‘‘ මම ඒ දවස්වල හිටියේ නෑනේ…..‘‘
‘‘ඒ දවස්වල මාත් එක්ක තරහයින් ද හිටියේ. .‘‘
‘‘ඔයාටත් වඩා ඔයගොල්ලන්ගෙ අම්මත් එක්ක…..‘‘
‘‘නිරංජන් අයියා තාම කසාඳ බැන්දෙ නැද්ද?’’
"‘එන අවුරුද්දේ බදිනවා‘‘
‘‘ශා...හොඳයිනේ‘‘ මටත් වෙඩින් එක කියන්න හොදද…?..නැන්දලා, රංජන් අයියගෙ වෙඩින් එකවත් අපට කිව්වේ නෑනේ...? මගේ වෙඩින් එකටත් ඔයා ආවේ නෑනේ..... වෙඩින් එක කියලත්.‘‘
මං ඉන්න තැනවත් මට මතක නැත….. එකදිගට නිරංජන් එක්ක කතා කරගෙන කරගෙන ගියේ සතුට වැඩිකමටය
‘‘සාරදා කෑම කන්නැද්ද?’’ අපි යනවා කන්න….ගුරුවරියක් ඇවිත් අප දෙදෙනා ලඟට කතා කළේ කෑම බෙදා ගන්න යන්න.
‘‘ආ.. මං එන්නම්.... මේ මගේ අයිය කෙනෙක්. චාන්දනිගේ පුතත් එක්ක වැඩ කරන්නේ…..‘‘
‘‘ඇත්තද? එන්න එහෙනම් දෙන්නම කන්න යමු.‘‘
‘‘ නිරංජන් අය්යත් එනවද කන්න යන්න.... ?
“නෑ මම යාලුවො එක්ක කන්නම්... සාරදා කන්න. අපි පස්සෙ කතා කරමු….. “‘
‘‘හොඳයි..’’ ඔහු මගේ උඩ සිට පහලට බලා ඉඳින්නෙ පරණ පුරුදු ආදර බැල්මෙනි….. මං තවමත් ඒ බැල්මට කැමති යැයි මට සිතේ. ඔහු දෙස ආදරයෙන් මාද බලා සිට අනෙක් ගුරුවරුන් සිටි දෙසට ගියේ….කාලයකට පසු හිතේ ඇති උන උතුරා යන සතුටිනි…..
කාලයකට පසු නිරංජන් දැක ගන්නට, කතා කිරීමට ලැබීම හිතට දැනෙන්නෙ පුදුම සැහැල්ලූ සතුටකි.
‘‘කවුද සාරදා ඒ හැන්ඞ්සම් බෝයි….. ඔයා කතා කර කර හිටියේ.‘‘
ගුරුවරියක් මගෙන් ඇසීය.
‘‘මගේ මස්සිනා…..‘‘ මම කිව්වේ සතුටිනි.
‘‘මස්සිනා... අපි දැන්නැති මස්සිනා කෙනෙක් ද…..?’’
‘‘මටත් කාලෙකට පස්සෙ හම්බ වුණේ…..අයියා රට හිටියේ….මෙ ලගදි ඇවිත් තියෙන්නේ...දැන් චාන්දනිගෙ පුතාලත් එක්ක වැඩ කරන්නේ...‘‘
‘‘අම්මේ... ඒ හින්ද වෙන්න ඇති මෙයාගෙ මූණෙන් සතුට බේරෙන්නේ….. මං කවදාවත් දැකල නෑ සාරදා කා එක්කවත් ඒ තරම් සතුටෙන් කතා කරනවා…..‘‘
තව ගුරුවරියක් කියයි….
‘‘ඒ මගේ අයියා කෙනෙක්නේ…., එකම නැන්දාගේ පුතා... වැඩ කරන්නෙ චාන්දනීගෙ පුතත් එක්කලූ.‘‘
‘‘ඇත්තද?..... මිනිහ නම් ඔයා දිහා බලන් හිටියෙ පරණ ලව් එකක් දිහා බලන් ඉන්නවා වගේ…...‘‘ තව ගුරුවරියක් කියයි…..හැමොම අපි කතා කරන දෙස බලා උන්බව දැනි මට ලැජ්ජත් සිතිනි.
‘‘හා... හා... ඇත්තට එහෙම ද?’’
‘‘මේ කෑම කාලා ඉවරයිනෙ හැමෝම….. අර අරහේ කට්ටිය නටනවා…. අපිත් යමු ද?‘‘ තුසිත සර් මං ලඟට විත් අතින් ඇද කතා කරයි.
‘‘පිස්සු ද? මට නම් බෑ….මම තදින් ඔහුගේ අත ගසා දැම්මෙමි....‘‘
‘‘ඇයි සාරදා මේ වගේ දවසටවත් ටිකක් නටමුකෝ…..‘‘තුසිත සර් මගේ පුටුවට අත තියාන බැගෑපත් වෙයි…..
‘‘අනේ මේ ඔයා යන්න මට නම් බෑ…...‘‘ මං වටපිට බැලූවේ තුසිත සර් මගේ අතින් අල්ලනවා, මගේ ලග ඉන්නවා නිරංජන් දැක්ක ද කියා සැකේටයි. ඔහු පේන්න නැත. කොහේ හරි කා එක්ක හරි කතා කරනවා ඇති…..
‘‘අපි හොදට කෑවා බිව්වනේ…දැන්. රෑ වෙන්න ඉස්සෙල්ල යමු ද?....’’
ගුරුවරියන් දෙතුන් දෙනෙක්ම ආපසු යන්නට ලෑස්ති වෙයි.
‘‘ඔයගොල්ලන්ට අපිත් එක්ක යන්න පුළුවන් අපේ වාහනේ... අපි යන්නෙත් ගල්කිස්ස පැත්තට....‘‘
‘‘අනේ එහෙනම් හොඳයි. මං එනකොට කැබ් එකක ආවේ…..‘‘ ගුරුවරියන් එකා දෙන්නා ගෙවල්වලට යන්න කතා කර ගනී.
‘‘සාරදා කොහොමද යන්නේ.‘‘
‘‘ආ... මට පුළුවන් සාරදාව බස්සන්න.‘‘
තුසිත සර් පැනලා මාව බස්සන්න බාර ගත්තේ ය.
‘‘එහෙනම් අපි චාන්දනීලට කියල යමු ද?’’
‘‘ඒක හොඳයි... අපි යමු.‘‘
මම වටපිට බැලූවේ යන්න ඉස්සර නිරංජන් අයියට කියල යන්නයි. ඈත මේසයක වාඩි වී ඇස්පිය නොගසා මා දෙස බලා ඉන්නා ඔහු දුටුවේ එවිට යි. ඔහු මා දෙස බලා ඉන්න විදිහ මාව අපහසුතාවයකට පත් වුණත් ඒ බැල්මට මම තවමත් කැමතියැය් සිතේ. මම ඔහු සිටින දෙසට පිය මැන්නේ ඔහුට යනවායැයි කීමටයි. සිටි තැනින් නැගිට මා ලගට ඔහු පැමිනියේය.
‘‘මං ගෙදර යන්න කියල නිරංජන් අයියා…. . අපි ආයෙත් දවසක හම්බ වෙමු. මට ඔයාගෙ ෆෝන් නම්බර් එක දෙන්නකෝ ….. මං වෙලාවක් හම්බ වුණා ම ඔයාට කෝල් එකක් දෙන්නම්…...‘‘
‘‘ඔයා කොහොමද යන්නේ මේ රෑ?....
‘‘අපේ ඉස්කෝලේ ටීචර්ස්ලා ගොඩක් ආවනේ….. ඒ කා එක්ක හරි යනවා. මගින් බස්සව ගන්නවා.‘‘
‘‘ඉන්න, ...ඉන්න... මං ඔයාව බස්සන්නම්….. මාත් දැන් යන්න ඉන්නෙ. මං මඟුල් ජෝඩුවට කියල එන්නම්….. යමු මම ඔයාව බස්සන්නම්‘‘
‘‘එහෙනම් මාව එක්ක යන්නම් කියපු ටීචර්ට මං කියල එන්නම්ද…?.‘‘
‘‘තුසිත සර්, මගේ නැන්දාගේ පුතාත් වෙඩින් එකට ඇවිල්ල ඉන්නවා. එයා මාව ගෙදරට බස්සන්නම් කිව්වා…...‘‘
‘‘නැන්දාගෙ පුතා... ඒ කවු ද?.....මෙච්චර දවස් හිටියේ නැති කෙනෙක්….. මං දැක්කා ලස්සන කොල්ලෙක් එක්ක සාරදා කතා කර කර ඉන්නවා.. එයා ද? නැත්නම් පරණ බොයිෆෙන්ඞ් කෙනෙක් ද? හා... හා... ඔයාට හොඳනම් කමක් නෑ. පරිස්සමින් යන්න. ගුඞ් නයිට්…...‘‘
අම්මෝ ඇති යාන්තම් තුසිත සර්ගෙන් බේරුණා. නැත්නම් මට මේ රෑ එයා එක්ක තමයි ගෙදර යන්න වෙන්නේ…..
‘‘සාරදා අපි එහෙනම් යමු ද?......’’
‘‘යං අයියේ... චාන්දනී මිස්,.. කෝකිලා මිස්, මං එහෙනම් අපේ අයියත් එක්ක යනවා…..එයා මාව බස්සනවා කිව්වා... ගුඞ් නයිට්.‘‘
‘‘ගුඞ් නයිට් පරිස්සමින් යන්න…..‘‘
හිටපු හැමෝටම කියල මං නිරංජන් අයියත් එක්ක වෙඩින් හෝල් එකෙන් එළියට විත් එහි වාහන නැවතුම්පළ දක්වා ඇවිද ගෙන ගියාය.
‘‘ඔයගොල්ලන්ගෙ ඉස්කෝලෙ ටීචර්ල ද ඒ ඔක්කොම හිටියේ…..‘‘
‘‘ඔව්...‘‘
‘‘මුළු ඉස්කෝලෙ ම ටීචර්ස්ලා ඇවිත් වගේ…..‘‘
‘‘ඔව්... මං හිතන්නෙ මුලු ස්ටාෆ් එකට ම මඟුල් කියලද කොහේද….. .‘‘
‘‘ඉතිං දැන් සාරදා කොහේද ඉන්නේ.. .‘‘
‘‘ඇයි නැන්දලා මං ඉන්න තැන කිව්වෙ නැද්ද?’’
‘‘මං ඕවා අහන්න ගියේ නෑ. මාව දාලා ගිය ගෑණි ගැන මං මොනවට හොයනව ද?... ’’
‘‘තාමත් මාත් එක්ක තරහෙන් නේද ඉන්නේ.‘‘ මම හයියෙන් සිනාසුනි.
‘‘ඔව්...‘‘
‘‘එහෙනම් මොකට ද මාව ගෙදර එක්ක යන්න බාරගත්තේ.‘‘
‘‘රෑ පානේ තනියම යවන්න හිතුනෙ නෑ…... ‘‘
‘‘ඒ කියන්නෙ තවම මට ආදරෙයි.... ඉස්සරත් මට තනි රැකපු එකනේ කරේ….‘‘ මං හිනාවෙවී කීය
‘‘ නෑ...නෑ...මම මොකට ආදරේ කරනවද ..කාගෙවත් ගෑනුන්ට..... .‘‘
‘‘ ඉතිං...මම ඔයාගෙ නෑනනේ…මම දන්නවා...ආදරේ හින්දා තමයි මාව බස්සන්න ආවේ කියලා…..‘‘ඉස්සර පුරුදු විදිහටම මම ඔහුට විහිලු කරමින් කතා කරන්නේ, කාලෙකට පස්සේ හිතට දැනුනු සතුටිනි..
‘‘ඉතිං…. දැන් කොහාට ද ඔයාව බස්සවන්නේ.‘‘
‘‘අපේ පරණ ගෙදරට ම තමයි…... මං ඉන්නෙ අපේ මහ ගෙදර. අම්මා අයියත් එක්ක නුවර ඉන්නෙ. මං සෝමත් එක්ක මහ ගෙදර ඉන්නවා…...‘‘
දෙදෙනා කතා කර කර විත් ඔහුගෙ වාහන නැවතුමේ නවත්වා තිබූ වාහනයට නැග ගත්තෙමු. ඉස්සරහා දොර මට ඇර දීලා නිරංජන් ඩ‍්‍රැයිවර් සීට් එකට නැගලා වාහනය පදවන්න පටන් ගත්තේ පුරුදු කාරයෙක් ලෙසටමය….. . ඇත්තට ම නිරංජන් වාහනය එළවනකොට තවත් කඩවසම් යැයි මට සිතේ. කවදාවත් මම ඔහු වාහනයක් එලවනවා දැක නැත, කෝට් සූට් අදිනවා දක නැත….ඉස්සර නිරංජන් අයියා ටිකක් කෙට්ටුයි…..දැන් නම් හොද උස මහත.
‘‘මේ වාහනේ ද ඔයාට ඔෆිස් එකෙන් හම්බ වුණා කිිව්වේ…..‘‘
‘‘ඔව් හොඳ ද?’’‘එච්චර අලූත් නෑ... ඒ වුණාට හරි පහසුයි. ගමන් බිමන් යන්න…..‘‘
‘‘මට හරි සතුටුයි. නිරංජන් අයියා ඔයා හොඳට ඉන්නවා දැකලා….. නැන්දයි, මාමටයිත් ගොඩක් සතුටු ඇති…..
‘‘ඔයාට පුතෙක් ඉන්නවාලූ නේද?.... මට ආරංචි වුණා.‘‘
‘‘ඇයි මං ගැන හොයන්නෙ නෑ කිව්වේ...ඔය මම ගැන දන්නේ…..”
‘‘හෙව්වෙ නෑ ඇහුනා. එක එක්කෙනා කියනවා....‘‘
"මොනවද එක එක්කෙනා කියන්නේ…."
කොහොමද රංජන් අයියා එහෙම. කාලෙකින් දැක්කෙත් නෑ. අනේ මං ඒ අයව මතක් කරා කියන්න…...ඒත් ඕනනෑ….නැන්දා අපිත් එක්ක තරහ වෙලානේ….තාත්තාගේ මළ ගෙදර නම් ආවා….හැබැයි දාන වලට ආවේ නෑ...මම මහ ගෙදර ඉන්නෙ කියලත් දැනගෙන නිකමට වත් අපේ ගෙවල් පැත්තේ ආවෙත් නෑ….‘‘
‘‘ඔයාගෙ ගුරු රස්සාව හොඳ ද සාරදා...ඔයා නම් සතුටෙන් ඉන්න පාටයි...?’’
‘‘ගොඩක් හොඳයි. මං හරි ආසාවෙන් රස්සාවට යන්නේ.‘‘
‘‘පුතාට දැන් වයස කීය ද සාරදා….?’’
‘‘එන සුමානේ බදාදට අවුරුදු දෙක ලබනවා.‘‘
‘‘එහෙනම් පාටි එකක් තියෙයි.‘‘
‘‘අනේ නෑ... මට ඕවා තනියම කරන්න බෑ…. මං සෝමත් එක්ක එන බදාදාට ලඟ තියෙන ළමා මඩමකට දවල් දානය දෙන්න භාරගත්තා. ගෙදර උයල දවල් කෑම ගිහින් දෙනවා…..‘‘
‘‘හස්බන්ඞ් තව ම රට ද සාරදා…..? අහන්න ඕන නිසා නිරංජන් විකුම් ගැන අහන ගානයි….ඔහු විකුම් ගැන වැඩිය කතා කරන්න කැමති නැත.
‘‘ඔව් ළඟදි එයි ..‘‘ මං අපේ රහස් සඟවා ගෙන ම කතා කළෙමි.
‘‘ඉතිං මොනව ද අලූත් තොරතුරු. කියන්නකෝ ඔයාගෙ මනමාලි වෙන්න ඉන්න කෙනා ගැන..එහෙම...මම විහිලුවට ඇසීය. ’’
‘‘ ඔයා කොහොමද එයා ගැන දන්නේ…..? …. අම්මගෙ වදේට කැමති වුනේ ….. එන අවුරුද්දෙ බඳින්න හිතාගෙන ඉන්නේ…..ගම්පහ ..ප්‍රයිවට් ෆිර්ම් එක්ක එයා වැඩ කරන්නේ....‘‘
‘‘ඇත්ත ද?.... ඒක හොඳයි. මටත් වෙඩින් එක කියන්න…හොදද.. .‘‘
‘‘බලමු...‘‘
‘‘මණමාලි කොහේද ඉන්නේ...?’’
‘‘. ගම්පහ පැත්තෙ කෙනෙක්....‘‘
‘‘ප්‍රොපෝසල් එකක් ද…..අම්මලා දන්න කෙනෙක්ද...?’’
‘‘දන්න කෙනෙක් අම්මට කියලා අදුනගෙන තියෙන්නේ......‘‘
‘‘ මනමාළි ලස්සන ද?...‘‘ මම ඉරිසියාවෙන් ඇසීමි.
‘‘ඔව්... ලස්සනයි.‘‘ ඔහුත් මට ඉරිසියා හිතෙන ලෙස කියයි.
‘‘ෂා.. මූණේ තියෙන හිනවා එයා ගැන ඇහුව්වම….‘‘.
‘‘ඔන්න ගේ ළඟට ම ආවා. එහෙම් ඔයා බැහැල යන්න. සෝමා ඇහැරලා ඇතිනේ….. මේ මගේ විසිටින් කාඞ් එක. වෙලාවක් හම්බවුණොත් කෝල් කරන්නකෝ.‘‘
‘‘හොඳයි එහෙනම් තැන්ක්යූ මාව ගෙනත් බැස්සුවාට.‘‘
‘‘ඔයා බැහැල ගෙට යන්න. මං ඔයා ගෙට ගියාට පස්සෙ යන්නම්.‘‘
‘‘ඒ ඇයි?’’
‘‘ගේ ඇතුළටම ගිහා ම ඔයා පරිස්සමින් ගේ ඇතුලට ගියා කියල දන්නවනේ…...‘‘ මට මතක් උනේ ඒ කාලයෙදි ද ඔහු මාව පරිස්සමෙන් රැක බලා ගත් ආකාරයයි. ඔහුගෙ ආදරය මුසු කාරුණික බාවය තවමත් එදා මෙන්මයි..
‘‘ ඉස්සර වගේමයි තවමත් මං ගැන හිතනවා නේද? තැන්ක්යූ අයියා ගුඞ්නයිට්. ඔයත් පරිස්සමින් යන්න.‘‘
‘‘ගුඞ් නයිට්.‘‘
ඔහු මං ගේට්ටුව ඇරගෙන ඇතුළට යනතෙක් බලා ඉඳියි. සෝමා මම ගේට්ටුව අරින සද්දෙට දොර ඇර බැලූවාය. මං නිරංජන්ට අත වනා මං ඇතුළට යන බව කියා ගෙට ගියෙමි.
‘‘ටිකක් රෑ වුණා නේද? නෝනා. මඟුල් ගෙදර හොඳට තිබුණ ද?’’
‘‘අනේ ඔව්...සෝමා.... හොඳට තිබුණා. ආ... මේ වෙඩින් කේක් කෑල්ලක් මං සෝමට ගෙනාවා.‘‘
‘‘අනේ... නෝනට මාවත් මතක් වෙලා. නෝනා අද ගොඩක් සතුටින් වගේ ඉඳල තියෙන්නෙ. මූණ හරියට මලක් පිපිල වගේ සතුටින්.‘‘
‘‘සෝමට එකත් පේනවද? හරිම මහන්සියි සෝමා. මං ඇඳුම් මාරු කරගෙන ඇඟ සෝදාගෙන එන්නම්. .‘‘
නිරංජන් හම්බවුණ කතාව සෝමට කියනවාද නැද්ද කියා මම කල්පනා කලේ.... නෑ ඕන නෑ.. පස්සෙ දවසක ඒ ගැන කියනවා.
මාත් නිරංජන් ගැනත් හොඳටම දන්න කෙනා සෝමායි.... අපි දෙදෙනාව පොඩි කාලේ බලාගත්තේද සෝමායි. සෝමා කුසුම් නැන්දගෙ ළමයින් දෙදෙනාට , අයියටයි මටයි වගේම හරි ආදරෙයි. අම්මා මාව විකුම්ට බන්දලා දෙන්න හදනකොට සෝමා හිටියෙ හරි කේන්තියෙනි. සෝමා නිතර ම අම්මට කිව්වේ නෑන අයිති මස්සිනාට කියලයි. ඒවා කියන්න ගිහින් සෝමා අම්මාගෙන් බැනුම් අහපු අවස්ථාත් තිබුනි.
නිරංජන් හම්බ වුණාට පස්සෙ මගෙ හිතේ මොකක්ද මන්දා ලොකු සතුටක් ඇති වී ඇත. එය නම් කියා ගන්න බැරි උතුරා යන සතුටකී….. ගෙවල් දොරවල් අස්පස් කරන වෙලාවටද, පුතත් එක්ක ඉන්න වෙලාවටද, පාසැලේ දීද, අතරමඟ දීද, හැමතැනම මා ගත කරන්නෙ ගොඩක් සතුටෙන් යැයි මට සිතේ….. නිරංජන්ව සැරෙන් සැරේ මට මතක් වෙයි….. මැවී පෙනෙයි. මට පිස්සු හැදිලා වගේ….. අනේ ආයෙත් නිරංජන් දකින්න ඇත්නම්…. ආයත් එයත් එක්ක කතා කරන්න ඇත්නම්….. එයා ලඟ ඉන්න මොහොතකට වුණත් මගේ හිත සතුටෙන් පිරෙයි. එය පොඩි කාලේ ඉඳන්ම වෙන දෙයකි…..
‘‘නෝනා හරි ම සතුටින් මේ දවස්වල ඉන්නේ. හැමදාම ඔය විදිහට ඉන්නව නම් කොච්චර හොඳ ද?’’
‘‘සෝමා අපි පුතාගෙ උපන් දිනේ දවසට ළමා මඩමට කෑම හදල දෙන්න බඩු ගේන්න ඕන නේද?’’
‘‘ඔව්, නෝනා තව දවස් තුනයිනේ තියෙන්නේ. අපි අද හවසට ගිහින් මාකට් එකෙන් බඩු ගේමු ද….?’’
‘‘එහෙනම් අපි තුන්දෙනා ම බස් එකේ ගිහින් බඩු ඇරගෙන එනකොට ති‍්‍රවීල් එකකින් එමු.‘‘
‘‘ආ... ඒක හොඳයි. චූටි බේබි හරි ආසයි ත‍්‍රිවිල් එකේ යන්න.‘‘
මාත්, සෝමත් පුතාගෙ උපන්දිනේ දවසට ළමා මඩමට ගෙනියන්න ඕන කරන බඩුමුට්ටු වේලාසන ලෑස්ති කර තැබීය. පුතාට ඔහුගෙ උපන් දිනය ගැන හැඟීමක් නැත. ඔහුට අලූත් ඇඳුමක් උපන් දින තෑග්ගට ලොකු කාර් එකක් ඇරන් තැබූ මම ඔහුගේ උපන්දින දවස වෙනකම් බලා හිටියේ හරි ඕනෑකමිනි.
මේ දවස් වල පාසැලේ වැඩ වැඩියි..... ඒ දෙසැම්බර් වාර අවසාන නිවාඩුව නිසයි…. නිවාඩුවට කලින් පාසැල් වාර විභාගෙ නිසා ප‍්‍රශ්න පත‍්‍ර හදන්න ඒවට කරුණු එකතු කරන්න, හරියට මහන්සි වෙන්න ඕනෑ. සමහර දවසට මං ඉස්කෝලෙන් පස්සෙත් පාසැලේ නැවතී ඒ වැඩ කර ගෙදර එන්නෙ ටිකක් හවස් වෙලා..... සෝමා මා එනතෙක් පුතාව බලා කියා ගෙන ගෙදර ඉන්න එක මට ලොකු පහසුවකි. සෝමාට මේ පාර දෙසැම්බර් නිවාඩු කාලේ ගෙදර ගිහින් එන්න කියන්න ඕනේ….යන්න ඕනේ කිය කියා ඉන්නේ ගොඩකාලෙක ඉඳන්.... මේ පාරවත් සෝමාව ගෙදර යවන්න ඕනේ. පව් මායි, පුතයි වෙනුවෙන් මහන්සි වෙනවා. කවදාවත් මට ඇගේ අමාරුවක් අසනීපයක් වත් කියන්නෙ නැති අම්මා වගේ කරුනාවන්ත මනුස්සයා..
ප‍්‍රශ්න පත‍්‍ර හදා අවසන් කර පැයක් පමණ පහුවෙලා මම ඉස්කෝලෙන්, බස් නැවතුම වෙත ගියේ හොඳට ම හෙම්බත් වය. ඉක්මණට බස් එකක් අල්ල ගෙන ගෙදර යා යුතු යි......
සෝමත්, පුතත් පාරට වෙලා මං එනතුරු බලාන ඇති. කලබලේ බස් නැවතුමට ගිය මං පාර දිහා බලාන හිටියේ බස් එකක් එනතෙක්ය.
පීප්... පීප්... මගේ ඉස්සරහින් ගිය වාහනයක් ඉස්සරහ නවත්වාගෙන වාහනයේ ඇතුළත ඉඳන් කවුද මට අතවනනවා දැක, මා ඒ දෙස හොඳින් බැලීමි.
ආනේ.... නිරංජන් මට ඇස් අදහාගත නොහැක. මේ වෙලාවට එයා මේ පැත්තෙ මොකද කරන්නේ... මං ඉක්මණට වාහනය ලඟට ගියෙමි.
‘‘ ඇයි...මේ පැත්තේ ?’’
‘නගින්න.. ගෙදර යන්න නේද?‘‘
නිරංජන් දෙකට නැමී මට ඉස්සරහ දොර ඇර දුනි. මම කිසි අකමැත්තක් නැතුව එයට නැගගත්තෙමි.
‘‘සාරදා සාරියට හරි ලස්සනයි….මම දැකලම තිබුනේ නෑනේ ඔයා සාරි අදිනවා….එදා මගුල් ගෙදර දවසේ හම්බු උන වෙලේ නම් දැකලා පුදුමත් හිතුනා…..‘‘
‘‘ඇත්තට තැන්ක්යූ. ඇයි ඔයා මේ පැත්තේ....‘‘
‘‘මං මේ කස්ටමර් කෙනෙක් හම්බ වෙලා යන ගමන් ඔයාගේ ඉස්කෝලෙ මේ පැත්තෙ කියපු නිසා නිකං බලා ගෙන ගියේ…. පුදුමයි ඔයා බස් හෝල්ට් එකේ හිටියා….. අපි මොනව හරි බීලා යමු ද?’’
‘‘අනේ බෑ.. නිරංජන්... සෝමයි, පුතයි මඟට ඇවිත් බලාන ඇති මං එනකම්. මං උදේට ගෙදරින් එනකොට පුතා නිදිනේ….. ඒ හින්දා මං ගෙදර දුවන්නෙ එයාව බලන්න…. .‘‘
‘‘මං වෙලාවක එන්න ද පුතාව බලන්න.‘‘
‘‘එන්න... පුතාට අඳුනලා දෙන්නත් පුලුවන් පුතාගේ පොඩි මාමා කියලා..… ..‘‘
‘‘ ආ….මම මාමාත් උනා එහෙනම්...වෙලාවක එන්නම්කෝ පුතාව බලන්න..….?’’
‘‘ඇයි නෑකමුත් අමතක ද…...?’’
‘‘මාව මේ පාර ලඟින් බස්සන්න. මං කාර් එකක ගෙදර එනවා වටපිට මිනිස්සු දැක්කොත් මට කතා හදයි.‘‘
‘‘මිනිස්සුන්ට බය ද?’’
‘‘අපොයි ඔව්... නිකං කතා හදා ගන්න බයයි….මොනව උනත් පරිස්සමට ඉන්නවා....‘‘
‘‘එහෙනම් මං යන්නම්.. ඔයා පරිස්සමින් යන්න.‘‘
නිරංජන් මාව ගෙවල් ලඟට හැරෙන පාර ලඟින් බස්සා යන්න ගියේය. නිරංජන් ඔෆිස් ඇඳගෙන යන ඇඳුමට හරි ලස්සනයි. සුදු ෂර්ට් එක, තද නිල් කලිසම, ටයි එකක් දාලා හරිම කඩවසම්….. ඉස්සරට වඩා එයා දැන් හරි පෙනුමයි.... මට ඉරිසියත් හිතුනා. මං මොකට ද එයාට ඉරිසියා කරන්නේ….. එයා දැන් මගෙ කවුද? ඊටත් එන අවුරුද්දෙ එයා කසාඳ බඳින්න ඉන්නෙ . මං මොකටද එයා ගැන වැරදියට හිතන්නේ…..
නිරංජන්ගෙ මණමාලි කොයි වගේ ද දන්නෑ. මං තරම් ලස්සන ඇති ද? නැද්ද?..... නිරංජන් එයාව බලන්න නිතර යනව ද දන්නෑ. මට අහන්නත් බැරි වුණානේ…..
නොයෙකුත් කල්පනාවලින් මං ගෙදර ගාවට එන විට ඈතදීම පුතයි, සෝමයි පාර ගාව ඉන්නා හැටි දුටුවෙමි. පුතා මාව දැක අත වනමින් සෝමා අතේ ඉඳගෙන බිමට බහින්න දඟලයි.
මට නිරංජන්ව අහම්බෙන් හරි දැක ගන්න ලැබීම, හිතට දැනුනෙ හරි සතුටකි. පුංචි කාලයේ සිට එකට වැලි සෙල්ලම් බත් ඉවූ අප දෙන්නා, රංඩු වෙවී යාළු වුණ අප දෙදෙනා, යොවුන් වියේ දී ආදරේ හිතට දැනීත්, අපි ආදරේ යැයි එකිනෙකාට නොකියා ගනිමින් වෙන්ව ගිය හැටි... මගෙ හිතට මුලින් ම ආදර හැඟීමක් ඇතවුණේ ඔහු නිසයි.
නමුත් මගේ විවාහයත් සමඟ ම ඔහු මා දකින්න නොආවේය. මාත් මගේ විවාහයෙන් පසු ඔහු අමතකම කර දැම්මේමි. ඒ විකුම්ගේ ආදර භාර්යාව වීමටයි. හැමදෙයක් ම කාලයත් සමඟ අමතක වී ගොස් සිටිය දී, නිරංජන්ගේ අහඹු හමු වීම මගේ හිතට ඇති කළේ සතුටකි. පසුගිය වසර හතර පහකට උඩ දී හිතේ තිබූ මතකයන් යළි යළිත් මගේ හිතේ නළියන්නට පටන් ගෙන ඇත. ඒ නිරංජන්ගේත් මගෙත් මතකයන්ය.
මා පාසැල ඇරී ගෙදර එනතෙක් ගෙදර ගේට්ටුව ළඟට වී සිටින පුතත්, සෝමාත් දැක වෙනදාටත් වඩා ප‍්‍රබෝධමත්ව හිනැහී පුතාව අතට ගත්තේ හිතට ඇති වී තිබූ සතුටකිනි.
‘‘නෝනා අද හරිම සතුටෙන්.’’
මගේ මුහුණ සතුටින් පිරී ඇති විට සෝමාට එය තේරෙයි. ඒ මම ප‍්‍රශ්න හමුවේ ජීවිතය එපා වී කලකිරුණු ලෙස නිතර අඩමින්, හූල්ලමින් පහු ගිය කාලය පුරාවටම ජීවත් වූ බව ඇයට නිතර දැක පුරුදු නිසය.
‘‘නෑ නිකං සෝමා. හරිම බඩගිනියි….. මං ඉක්මණට නාගෙන එන්නම්. ආ... මෙන්න පුතාව ගන්න.
පුතා බත් කෑව ද සෝමා…..’’
‘‘අනේ නෝනා මට එපාම කරන වැඬේ බබාට බත් කවන එක. බත් කන්නම කැමති නෑ…...’’
‘‘ඔන්න මං අද යාලුවෙක්ගෙන් හම්බවෙලා, චීස් කෑල්ලක් ගෙනාවා බාබාට කවන්න. එයාගෙ ආසම කෑමනේ…..’’
‘‘නෝනට අද පඩි ද?’’
‘‘ඔව් ඔව් ඔන්න සෝමාට මං මුරුක්කු පැකට් එකකුයි, ස්පොන්ච් කේක් කෑලි දෙකකුත් ගෙනාවා...ඉස්කෝලේ කැන්ටිමෙන්...’’
මගෙත් පුතාගෙත් වැඩ කරමින් අප දෙදෙනාගෙ තනියට ජීවත්වන සෝමා, සැමියා මිය ගිය වැන්දඹු කාන්තාවකි. ඇගේ දරුවන් දෙදෙනා විවාහ වී ගමේ පදිංචි වී සිටිති. මාස හතරකට පහකට සැරයක් ගමේ ගිහින් දරුවන් හා මුණුපිරි මිණිපිරියන් බලන්න ඈ යයි. ඈ යන්නෙ ඇය ගෙ මාස පඩි ද එකතු කරගෙනය. මුළු පඩියම දරුවන්ට බෙදා දෙන ඇය ආපසු ගෙදර එන්නෙ අතේ සතේ නැතුවය.
- හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *



Comments