💞බැද්දේ කුමරිය 💞
- Prisila Godahewa
- Sep 13, 2020
- 8 min read
(10 වෙනි කොටස )
මාළි කොළඹ ජීවිතයට එතරම් කැමැත්තක් නොතිබුනි බව කීවත්, ඇය එම ජීවිතයට හරි ඉක්මනට පුරුදු විය.
දෙන්නා එකමුතුව ගෙදර අස්පස් කරන වැඩ ,රෙදි හෝදන හා උයන පිහන වැඩද කරමින් සතුටින් අලුත් ජීවිතය පටන් ගත්තෙමු.
‘‘හෙට උදේට මං ඔයාට ඔෆිස් ගෙනියන්න බත් මුලක් හදල දෙන්නම්.‘‘
‘‘ඔයා කරදර වෙන්න එපා. මට කඩෙන් කාල පුරුදුයි.‘‘
‘‘අපෝ පිස්සුද..... දැන් ඉස්සර වගේ කඩෙන් කන්න එපා.... යාළුවෝ හිනාවෙයි.... ඔයත් උදේම නැගිට්ටහම මට උයන්න උදව් කරන්නකෝ. එතකොට වැඩි වෙලාවක් යන්නෙ නෑ උයාගන්න...."
"ඔයාගෙ කැමැත්තක් ......
"මට එච්චර කෑම උයල පුරුදු නෑ..... අපේ ගෙදර ඉතිං උයන පිහින වැඩට අය ඕනතරම් හිටියනේ....ඒ නිසා. මට වැඩිය ඉවුම් පිහුම් එහෙම හොඳට බෑ.....කෑම උයලා ගත්තට, රස නම් නෑ කියලමයි මට හිතෙන්නේ .......‘‘
‘‘මට නම් හොඳට උයන්න පුළුවන්..…. අපේ අක්කා මට ඒවත් ඉගැන්නුවා. අම්මා නැතිවුණාට පස්සේ අක්කා ගෙදර උයන වෙලාවට, මාත් ගිහින් අක්කට උයන්න උදව් කරනවා... අක්කා ඔය නැන්දලා එක්ක වන්දනා ගමන් එහෙම ගිය දවසට මං තමයි තාත්තටයි, කෑම උයල කන්න දෙන්නේ.....‘‘
‘‘ඇත්තද ඒක කොච්චර දෙයක් ද? පිරිමි අයට උයන්න පුළුවන් ඒක ගෙදර ගෑණු කෙනාට වාසියක් .....‘‘
‘‘මං දැන් හෙට ඉදන් වැඩට ගියාම ඔයාට පාළුවෙයි ද තනියම ගෙදර ඉන්න....‘‘
‘‘අපෝ නෑ.... මට හැමදෙයකටම පුරුදු වෙන්න පුලුවන්. කසාද බැන්දයි කියලා ඔයා හැමදාම මට ගෙදර ඉදන් තනි රකින්නයෑ......ඔයා මට වැඩ ඇරිලා එනකොට චිත්‍ර කතා පත්තර ටිකක් ගෙනත් දෙන්නකෝ........ එතකොට දවල් දවසට ඒවා කියවන කොට පාළුවක් නැතිවෙයි.‘‘
විවාහයෙන් පසුව මාළි සමග ගෙවුණු ජීවිතය, සතුටින් ගත විණි. මා වැඩට ගිය පසු ගෙදර අස්පස් කර මගේ රෙදි සෝදා පැණි රස කෑමක් සාදා මාළි මා ගෙදර එනතෙක් බලා හිඳියි.
‘‘අද අල්ලපු ගෙදර ගෑණු කෙනා මාත් එක්ක කතා කළා..... අපි කොයි පළාතෙ අයද කියලත්ඇහුව්වා....... ඔයා වැඩ කරන තැනත් ඇහුව්වා. එයාගෙ මහත්තයත් ආණ්ඩුවේ රස්සාවක් කරන කෙනෙක්ලු ....... ඒ කෙනා හරි හොඳයි. මට ඕන වෙලාවක උදව්වක් ඕන වුණොත් කතා කරන්න කිව්වා. ඒගොල්ලන්ට දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා......‘‘
‘‘ආ... ඒක හොඳයි. වටපිටාවේ අය අඳුනගෙන ඉන්න එකත්.‘‘
"එන පාර අපේ අම්මලා ගමේ හාල් පොල් එළවළු ගෙනාවහම, අපි ඒ අයටත් දෙමු නේද......?"
"ඔව්....ඒක නම් හොද වැඩක් ...."
‘‘අපි මේ සෙනසුරාදා දළඳා මාළිඟාව වඳින්න යමු ද?....මතක ඇති කාලෙක නුවර යන්න බැරිවුනා...
".ඉස්සර අපේ තාත්තා ගමේ හැමෝම කට්ටිය එකතු කරගෙන වන්දනාවෙ යනවා..... අපේ ලොරියේ තමයි යන්නේ....ලොරියෙ උඩ හාල් පොල්,එළවළු හට්ටි මුට්ටු දර, කෙසෙල් කැන්...ඔක්කොම ගැට ගහගෙන යන්නේ.....ඒ ගිහාම විශ්‍රාම ශාලාවක නැවතිලා ....ගමේ ගෑනු එකතු වෙලා දර ලිප් ගහලා ලොකු හැලි වලං වලට උයලා ගන්නවා......අප්පේ ඒ කෑම වල රස......කොහේ හරි වැවක්, ගගක් අයිනෙ ගස් යට වාහනය නවත්තලා කට්ටියම දියරෙදි ඇදගෙන වතුරට බැහැලා නාලා....තමයි කන්නේ....
නාලා ඇවිත්, ගස් යට, ගල් යට වාඩිවෙලා වැවේ හුළග වැදි වැදි උනු උනුවේ කනකොට, ඒ කෑම පුදුම රසයි....ඔය වන්දනා ගමන් යනකොට වැඩිය එළවළු ජාති ගෙනියන්නේ නෑ....එකම විදිහ නරක්වෙන්නෙ නැති දේවල් තමයි ගෝනිවල දාලා ගෙනියන්නේ.....ගෙදර තම්බපු හාල්, පොල් අල බතල, පරිප්පු ,අල, බොම්බිලි වගේ ලාභ කරවලයි ලොකු කට්ටා කූරියෙකුයි තමයි වන්දනා ගමන ඉවරවෙනකම් කන්න ගෙනියන්නේ.....වැවක නාලා, උනු උනු බත් එක්ක පරිප්පු, පොල්සම්බෝලයි,,බොම්බිලි කරවල උයල ගත්තහම බඩ පැලෙන්න කෑවැකි....කාලෙකින් එහෙම ගමනක් යන්න බැරි උනානේ..... ’’
‘‘ අපි දෙන්නා එහෙනම් යංකෝ....නුවර... උදේම යන්න වෙයි.... අපි වෙනසකටත් එක්ක කෝච්චියෙ යමු.‘‘
‘‘අනේ හරි ෂෝක්..... මං කෝච්චියෙ යන්න හරි ආසයි. මම උදේම බත් මුල් දෙකක්, පාන් සීනි සම්බෝල හදාගන්නම් උදේටයි, දවල්ටයි කන්න ගන්න......‘‘
‘‘අපි උදේට කන්න ගෙනියන ඒවා රෑට ලෑස්ති කරලා තියාගමු..... අපි දෙන්නා දළඳා මාළිඟාව වැඳලා , ඊට පස්සෙ පේරාදෙණියේ මල් වත්තට ගිහින් එතන ඉදන් දවල්ට කමු. උදේට කන පාන්, කෝච්චියේ යන ගමන් කත හැකිනේ ...අපි නුවර ඇවදලා එනගමන් රෑට කොහේ හරි සයිවර් කඩේකින් තෝසෙ කාලා එමු.
‘‘ෂා... හරි ෂෝක් මං හරි ආසයි එළියෙන්, හෝටල්වලින් කන්න...තෝසේ ඉතිං අපේ ගෙවල් වල හදන්නෙ නෑනේ....ඒවා හදන්නෙ දෙමළ මිනිස්සුනේ.... අපේ අම්මලා කඬේ කෑම කන්න දෙන්නෙම නෑනේ.... තුන්වේලටම ගෙදර උයන ඒවා තමයි කන්න තියෙන්නේ.....ඒ විතරක් යෑ.. තුන්වේලටම බත්....සුදු.පාන් ගෙඩියක් ගෙදරට ගේන්නේ එහෙමත් කලාතුරකින්.....ඉදිආප්ප පිට්ටු ආප්ප ඉතිං එහෙමත් වෙලාවක හදන්නේ..."
විවාහයෙන් පසු අප දෙදෙනා ,නිවාඩු දිනවලට, නෑදෑයින්ගෙ ගෙවල්වල විනෝද ගමන් ආදිය ගියේ හරි සතුටෙනි...... මාළි කොළඹ ජීවිතයට හරි ඉක්මණට පුරුදු විම මට පහසුවක් විය. කෑම බීම හදන්න ද හරි ඉක්මණට ඇය ඉගෙන ගත්තේ මගෙනි.... දෙදෙනා එකතු වී ගෙවල් දොරවල් අස් කරමින් උයා පිහා ගනිමින් දවස් ගෙවුවේ සතුටින් සැහැල්ලුවෙනි.
‘‘ඔයා ඉස්සර ශාන්ත අයියලත් එක්ක ඉඩම් මනිනවා බලන්න යනවලූ නේද.....?’’
‘‘ඔව්..... ඒ ගමන් හරිම විනෝදයි.... ඒ වගේම භයානකයි.‘‘
‘‘දවසක මාවත් එක්ක යන්නකෝ....කැලෑවල් බලලා එන්න....අපි ඉතිං දකුනෙ කට්ටිය නේ....අපට ඉතිං මහ විශාල වනාන්තර දකින්න නෑනේ....අපට ඉතිං නිතර යන්න තියෙන්නේ....මුහුද බලන්නයි මුහුදෙ නාන්නයි....වැල්ල පාගන්නයි විතරනේ.....‘‘
‘‘පිස්සුද ගෑණු අයට ඒ කූඩාරම්වල ගිහින් නැවතිලා ඉන්න බෑ. ශාන්ත අයියා ඉහලම පළපුරුදු මිනින්දෝරු මහත්තමයෙක් නිසා එයාට විතරයි වෙනම කූඩාරමක් තියෙන්නේ. ශාන්ත අයියා මං ගිහාම එයාගෙ කූඩාරමට මාව ගන්නවා.... නැත්නම් ඉතිං මටත් වෙන්නෙ ඉඩම් මනින සේවකයන්ගේ කූඩාරමේ එකට ගුලි වෙලා නිදා ගන්න.‘‘
‘‘කෑම එහෙම කොහොමද?‘‘
මාළි ඉතා උනන්දුවෙන් කූඩාරම් ජීවිතය ගැන අසයි....මම කාපු බීපු කෑම ගැන දැනගන්නටද ඇය කැමතිය. එබැවින් මම රස කර කර ඇයට පහුගිය කතන්දර කියන්නෙමි.
‘‘කෑම නම් කියල වැඩක් නෑ. අපේ ගෙවල්වල හදන කෑමවලට වඩා හරි රසයි.... අප්පු කෙනෙක් වෙනම ඉන්නවා, මිනුම් වැඩ කරන අයට උයන්න. මිනිහ හරි රසට උයනවා. දඩ මස් අල බතල වරදින්නෙ නෑ. ලඟ පාත ගම්වල මිනිස්සු අල බතල ගෙනත් දෙනවා..... දඩ මස් ගෙනත් දෙනවා. ගම්වල මිනිස්සු හරි හොඳයි. ලඟ පාත මිනුම් වැඩක් කරනවා දැක්කහම ඒ මිනිස්සු ඇවිත් අපේ තනියටත් නවතිනවා. ගොඩක් වෙලාවට ආණ්ඩුවේ කැලෑ මනින වැඩනේ ඒ ගොල්ලෝ කරන්නේ. ගම්වල මිනිස්සු ආසයි ඉඩම් මැනලා පාරවල් එහෙම කැපිල එනකොට......‘‘
‘‘ඔයා ආයෙත් යන් නැද්ද ඉඩම් මනිනවා බලන්න.‘‘
‘‘දැන් ඉතිං කොහේද ඔයාව දාලා යන්නේ.‘‘
‘‘ඔයාට ආස නම් මාව අම්මලාගෙ ගෙදර නවත්වලා දවසක් දෙකක් ගිහින් එන්න..... ඔයා ඔය තරම් ආස ගමනක් නම් ශාන්ත අයියලත් එක්ක යන්න.....ගමේ ගිහාම ඉතිං මට මුහුදු වෙරලේ ඇවිදලා නිදහසේ ඉන්න පුලුවන් කම්මැලි කම යන්නත් එක්ක....
"ඔයා මුහුද කිව්වහම මට මතක් වුනේ....අපේ ගෙවල් වලටත් මුහුද ලගයිනේ....පොඩිකාලේ මම හැමදාම ඉස්කෝලේ ඇරිලා ඇවිත්, හවසට වෙරලේ මාලු ඔරු ,මාළු අල්ලන්න දියභට යන හැටි......මාළු ඔරු, මාළු දැල් වෙරලට කට්ටිය එකතු වෙලා ඇදල ගන්න හැටි බලන්න යන්න හරි ආසයි....
"දවසක්, අපේ ගෙදර තාත්තාට නිතර මාළු ගෙනත් දෙන මුහුදෙ යන කරාවේ දෙන්නෙක් හිටියා වෙරලේ ....., මාළු අල්ලන්න, බෝට්ටුවක මුහුදු යන්න ලෑස්ති වෙලා....... මම ඒ දෙන්නට කිව්වා කවදාවත් මම මුහුදෙ ගිහින් නෑ.....මාවත් මාළු අල්ලනවා බලන්න එක්ක යන්න කියලා .....
"ඉතිං ඔයාව එක්ක ගියාද....?
"එක්ක ගියාදත් අහනවා.....මගෙන් ඇහුව්වා ...වෙද මහත්තයා දැන ගත්තොත් අපට බනී.....වෙද මහත්තයාට කියල එන්න කියලා ..... ඉතිං ....ටික වෙලාවක් මම ගෙවල් පැත්තට ගිහින් ටිකක් වෙලා ඉදලා ඇවිත් ඒ අයට කිව්වා ,තාත්තාට කියලා ආවේ මුහුදෙ යන බව කියලා .....මම බොරුවට කිව්වේ......තාත්තගෙන් ඇහුව්වනම් කවදාවත් මට යන්න දෙන්නෙ නෑ....
"ඉතිං....."?
"ඉතිං තමයි ....මාවත් බෝට්ටුවේ දාගෙන ඒ දෙන්නා හවස් ජාමේ දියභට ගියානේ....හුලං වැදි වැදි...පැද්දි පැද්දි ගිය ගමන හරිම විනෝදයි.....
"එතකොට රෑ ඔයගොල්ලෝ මුහුදේද හිටියේ......?
"නැතුව,.... රෑ කරුවල වැටි ගෙන එනකොට ,බෝට්ටුවේ දෙන්නා පැට්ට්‍රල් මැක්ස් ලාංපුවක් පත්තු කරලා බෝට්ටුවේ පැත්තක එල්ලගෙන තමයි බෝට්ටුව හබල් ගාගෙන ගියේ...."
"ඉතිං ඉතිං... මම .හරිම ආසයි ඔය කතා අහන්න....කියන්නකෝ ඉතිං ...
"ඉතිං.... මුහුදු වැල්ල පේන්නෙ නැති වෙන්න බෝට්ටුව මුහුද මැදට ගිහාම තමයි මට තාත්තා මතක් වුනේ....දැන් මාව තාත්තා හොයනවා ඇති කියලා.....අම්මා හිටියෙ නෑනේ ඒ කාලේ.....ඉතිං මොකෝ මාළු කාරයන්ට ආයි හැරිලා ගොඩබිමට එන්න කියන්‍න යැයි.....ඒ මිනිස්සු හරි නපුරුයි....දන්නවනේ බෙන්තර ගගෙන් එහාට පූස් පැටියෙක්වත් ගෙනියන්න එපා කියන කතාව....හරි දරුනුයි කියනවානේ දකුනෙ මිනිස්සු.....ඉතිං හැබැයි මේ මාලු අල්ලන්න ගිය දෙන්නා මට හොදට සැලකුවා....මම වෙද මහත්තයාගෙ පුතා නිසා.....
"ඉතිං රෑ සීතලේ, කරදිය හුළගේ, කරුවලේ ඔයාට බය හිතුනෙ නැද්ද...?
"නෑ...එතකොට මට අවුරුදු දහ හතරක් විතර ඇති....කොල්ලා කාලෙනේ...ඊට පස්සෙ බෝට්ටුව මුහුදේ දියභට ඇදිලා ගියාට පස්සේ...අර වෙරළ කිට්ටුවදි වගේ මුහුදු රැලි එක පිට එක එන්නේ නැති නිසා....බෝට්ටුව පැද්දෙන එක අඩු වුනා......ඊට පස්සෙ අර දෙන්නා බෝට්ටුව මුහුදේ මැද නවත්තලා ගෙනාපු මාලු දැල් එලුවා මුහුදට ...ඊට පස්සෙ ඒවා බෝට්ටුවේ පැත්තක ගැටගහලා, දෙන්නත් එක්ක රෑට කන්න ගෙදරින් ගෙනා බත් මුල් ලිහාගෙන කන්න ගත්තෙ නැතෑ...."
"ඔයාටත් දුන්නද කන්න....?
"ඔව්...ඒ ඈයෝ බත් මුල් දෙක දෙක ගෙනත් තිබුනා....මොකද හදිස්සියේ වත් එළිවෙන්න ඉස්සර මාළු අල්ල ගන්න බැරි උනොත් දවස් දෙකක් හරි දියබේ ඉදලා මාළු අල්ලගෙන තමයි ලු ආයෙත් ඒගොල්ලෝ ගොඩබිමට යන්නේ....... ඒ නිසා, කෑම වැඩියෙන් ගෙනාවා කිව්වා .....මාලි දන්නවද ඒ බත් මුල් වල මොනවද තිබුනේ කියලා...."
"ඒක තමයි මටත් අහන්න ඕනේ වුනේ..."
" එක්කෙනෙක් කෙහෙල් කොලේ ඔතපු බතුයි පොල් වැඩියෙන් දාලා හදපු රටදෙල් මැල්ලුමකුයි, ජාඩි තෙල් දාලා, බෝතලේක තක්කාලි කිරි හොද්දකුයි......මගේ අම්මේ ඒකේ රස නම් කියලා වැඩක් නෑ....
අනිත් කෙනාගෙ බත් මුලේ තිබිලා අපට ඇබුල්තියල් මාලු කෑල්ලකුයි බිලිං අච්චාරුත් ටිකකුත් දුන්නා....
"ඔයා කියන කොටත් මගෙ කටට කෙළ ඉනුවා...ඉතිං ඊට පස්සේ....?
කාලා ඉවර වෙලා මම බලන් හිටියා දැන් දැලට මාළු අහුවෙයි... දැන් අහුවෙයි..කියලා .....එහෙම උනොත් ආයෙත් ඉක්මනට ගෙදර යන්න පුලුවන් වෙයි කියලා ....මොන....ඒ මාමාලා දෙන්නා මාළු දැල් එලලා බෝට්ටුවේ ඉදන් විටක් කාරිය හප හපා ඕපාදූප කතා කියව කියව හිටියෙ නැතෑ එකිවෙනකම්.....මම පැත්තක් අල්ලං උඩුපිලි අතට බෝට්ටුවේ නිදාගෙන අහසේ තරු ගනන් කලා....ගොඩබිමක් පේන්න නැති ඈත මුහුදේ තැන් තැන් වල අපි වගේම මාළු අල්ලන්න ආව බෝට්ටු නැංගුරම් දාගෙන ඉන්න එළි පේන්න තිබුනා. ....මුහුදේ හෝ හෝ ගාන සද්දෙයි විතරයි..... මට එහෙට මෙහෙට හෙමිහිට පැද්දෙන බෝට්ටුවේ හොදටම නින්ද ගියා..... සීතලේ ..කරදිය හුලං වැදි වැදි ...
එළිවෙන්න කිට්ටුව මාළු කාරයෝ දෙන්නා..... මුහුදෙ එළලා තිබුන දැල් ඇදලා ඇදලා....බෝට්ටුවට මාළු දැම්මේ නැතෑ.... ඒ ගමන බෝට්ටුවේ හැම තැනම මාලුවෝ..... එහෙට, මෙහෙට, උඩට පනිනවා බලා ඉන්න බෑ දුකේ....එදා හිටියේ හුරුල්ලෝ රෑනක්....තව කෙලවල්ලෝ තුන් දෙනෙක්, සාලයො එහෙම හිටියා.... නම් නොදන්න මාළුත් දැලට අහුවෙලා හිටියා ....උන්ව ආයෙත් පන යන්න ඉස්සර මුහුදට විසි කලා.....
"ඉතිං...ඊට පස්සෙ ගොඩබිමට ආවද...?
"ඔව්...එළිය වැටීගෙන එනකොට මාළුත් ඇරන් ගොඩබිම පැත්තට ආවා...උදේ හය හත වෙනකොට වෙරළ පේන්න ගත්තා ....තව ටිකක් වෙරළට ලං වෙනකොට ඈතටම මම දැක්කා..... අපේ තාත්තා කෝට් බෑයත් දාගෙන කුඩේකුත් අතේ තියාන වෙරලේ ඉන්නවා.....ඒ වෙලාවේ තමයි මට දෙයියෝ බුදුන් සිහි උනේ.....
"ඉතිං ...මාළි හිනහෙයි..."
"ඉතිං තමයි .....බෝට්ටුවෙන් මම බැස්සා විතරයි ...තාත්තා ඇවිත් මාව අල්ලගෙන කුඩේ කැඩෙන කම් මට ගැහුව්වෙ නැතෑ......ආයෙත් මුහුදු යනවද අහ අහ....මේ...මගේ නහය....කුඩේ මිට වැදිලා තුවාල වුන පැල්ලම.....අන්තිමට මාව ගෙදර එක්කගෙන ගිහිල්ලා තාත්තාම තමයි මගේ තුවාල වෙලට බෙහෙත් දැම්මෙත්.......
"අනේ...අනේ...වෙච්ච දෙයක්..."
"ගුටි කාලා හරි කමක් නෑ මම මුහුදේ මාළු අල්ලන හැටි දැන ගත්තනේ....ඒකම මදෑ....
විවාහයෙන් මාස දෙකක් සම්පූර්ණ වෙනවාත් සමඟ ම මාළි ගැබිනියක බව පෙන්වන ලකුණු මතු විය..... උදේ පාන්දර කෙඳිරි ගාමින් බඩ අල්ලා ගෙන වමනෙ කරන මාළි මුළු දවසම ගත කරන්නෙ හෝන්දු මාන්දුවෙන්ය. ගෙදර දොරේ වැඩ කිරීමට තරම් ශක්තියක් නැති ඇය දවසම ඇඳට වෙලා හිදියි.....
සෙනසුරාදා, ඉරිදා ගෙදර ඉන්න දවසට මං මුළු දවසම ගෙයි ඇතුළත පිටත පිරිසිදු කර අප දෙදෙනාගෙ ඇඳුම් ද සෝදන්නේය. අපගෙ කුළුඳුල් දරුවා ලැබෙන්න සූදානමින් සිටින ඇය දකින මට සතුටක් ඇති වුණත්, ඒ සමඟ ඇය සිටින අපහසු තත්ත්වය නිසා මට ඇය ගැන ඇති වන්නේ දුකකි. හරි හැටි කෑමක් බීමක්වත් කන්නට බැරුව අප්පිරියාවෙන් මා සාදා දෙන කෑම ප‍්‍රතික්ෂේප කරන ඇය දකින විට මා හට ද කොපමණ බඩගිනි තිබුණත් කෑම කන්නට හිත දෙන්නෙද නැත.
සතියේ දවසට උදෙන් ම නැගිට මා රැකියාවට ගෙනයාමට, බත් එකක් සාදා ගන්නෙ ඇගේ අකමැත්ත උඩමය. ඇයටත් මටත් පුළුවන් විදිහට යමක් දවල්ට රත් කරන මා උඩින් පල්ලෙන් ඇඳුම් ඇඳගෙන වැඩට දුවන්නෙ බසය අල්ලා ගැනීමටය.
‘‘අනේ.... සුමල් ඔයාට හැමදාම මේක කරන්න බෑනේ.... මං මාසයක් දෙකක් විතර ගෙදර ගිහින් අම්මලත් එක්ක ඉඳල එන්නම්. එතකොට මේ ලෙඩ ගති නැතිවෙලා යයි....ගමේ අපේ අම්මා උයන කෑම නම් මට කන්නත් පුලුවන් වෙයි.‘‘
‘‘හැබැයි මං ඔයාට නොකිව්වට මටත් ඒක හිතුනා..... ගමේ ගිහාම දේශගුණයයි, ගමේ කෑමයි, නෑදෑයනුයි හැමදෙයක් ම කැමති විදිහට ලැබෙන කොට ඔයාගෙ ඔය ලෙඩ ගති ඇරිලා යයි.‘‘
‘‘එතකොට මං ගිහාම ඔයා මේ ගෙදර තනියමනේ.‘‘
‘‘නෑ... නෑ... මං හිතුවේ අක්කලාගෙ අලුත් ගෙදර නවතින්න. එහේ ඉඳන් ටිකක් දුර උනාට, මගෙ වැඩපලට කෝච්චියේ ඉදන් එන්න පුලුවන් දුර.... ‘‘
‘‘ඒකනම් ඇත්ත අක්කත් කැමති වෙයි ඔයා එනවට. එයාගෙ දුවයි, පුතයි දෙන්නම ඔයාට ගොඩක් එකතුයිනේ.....‘‘
‘‘මම කසාඳ බඳින්න ඉස්සර , එහේ ඉන්න කොට දුවටයි, පුතාටයි පාඩම් කියල දෙන්නෙ මං නේ..... මාස තුනක්ම මං හිටියෙ නැති නිසා ඒ දෙන්නට ගොඩක් පාඩම් වැඩ අතපසු වෙන්නත් ඇැති. මං හෙට වැඩ ඇරිලා එන ගමන් ම අක්කලාගෙ ගෙදර ගිහින් ඔයා ගෙදර ගිහින් එන්න යන විස්තරය කියන්නම්.‘‘
‘‘එහෙනම් ඔයා අපේ අම්මලාගෙ ගෙදරටත් පණිවිඩය අරින්න මං එහේ ටික දවසක් නවතින්න එනවා කියල.‘‘
‘‘ඔව්... මං හෙටම පණිවිඩය අරින්නම්.....තාත්තා එතකොට ඔයාට , ගෙදර වාහනය එවන්නෙ නැතෑ ගම යන්න....... අපට එන සෙනසුරාදා ගමේ යන්න පුළුවන් එතකොට.‘‘
‘‘මට ගම මතක් වෙනකොටත් ආසයි.... මං මේ කොළඹ පදිංචියට කැමතිම නෑ. දේශගුණෙත් මට හරි අමාරුයි.... ටැප් වතුර නාන එක තමයි වැඩියම අමාරු.‘‘
‘‘හරි... හරි... ඉතිං දිගටම ගමේ ඉන්න බෑ.... කුලියට ගත්ත ගේ වහල දාලා තියන්නත් බෑනේ..... මාසයක් දෙකක් අම්මලත් එක්ක ඉඳලා ඔය අසනීප ගති ඉවර වුණාම කොළඹ එන්න.‘‘
‘‘ඔව්... ඔව්... එහෙම තමයි. ඔයා අක්කලත් එක්ක ඉන්න නිසා මට බය නෑ..... අක්කා ඔයාට හොඳට සලකන බව මං දන්නවානේ.‘‘
‘‘ඔයාගෙ ඇඳුම් එහෙම එහෙනම් ලෑස්ති කරල තියාගන්න. මං අදම ඔයගොල්ලන්ගෙ ගෙදරට ටැලිග්‍රෑම් එකක් ගහන්නම්. සෙනසුරාදාට අපට ගම එන්න වාහනය එවන්න කියලා ..... ඔයාට බස්වල මේ ඉන්න විදිහට යන්න බෑනේ ...."‘
‘‘අනේ කොච්චර දෙයක් ද? වාහනය ආවොත් නම් ගමේ යන්න ලේසියි ....‘‘
‘‘බලමු මං පනිවිඩය ඇරලා කරල බලන්නම්. එහෙනම් සෙනසුරාදාට ඔයාව ගමේ ගිහින් බස්සලා මං අක්කලාගෙ ගෙදර යනවා ඒ එන ගමන්ම.....නැත්තම් දැන්නම් තනියම ගෙදර ඉන්න බැරිවෙයි ඔයා නැතුව පාලුවේ.... ඒත් මං සෙනසුරාදා, ඉරිදට ඇවිත් වත්ත පිටිය එහෙම සුද්ධ කරල දාලා යනවා. කූලී ගෙය උනත් පාලූවට යන්න දෙන්න බෑනේ.‘‘
‘‘එහෙම හොඳයි සුමල්.‘‘
- හෙට හමුවෙමු --
*ප්‍රිසිලා ගොඩහේවා *
Comments